ජීවිතේ ගත්ත කිසිම තීරණයකට පසුතැවෙන්නේ නැහැ

සීමා මායිම් නැති රංගනයකට මම කැමතියි 
- සමනලී

පසුගිය කාලය පුරාවටම සමනලී ෆොන්සේකාට මාධ්‍ය හරහා ද වැඩි ඉඩකඩක්‌ ලබාදී තිබුණා. ඒ ඇය දේශපාලන වැඩකටයුතුවලට අතගැසීම හේතුවෙනි. අපි ඔබට කියන්න යන්නේ එවැනි දෙයක්‌ ගැන නම් නොවේ. එලෙස කතාබහට ලක්‌වුණු සමනලී වර්තමානයේ කලාව වෙනුවෙන් දරන්නේ මොන විදිහේ මතයක්‌ද යන්න සොයාබැලීමය. 

මොනවගේ වැඩකටයුතුවලටද මේ දිනවල මුල්තැන දීලා තියෙන්නේ ?

චිත්‍රපට කිහිපයකට රංගනයෙන් දායක වුණා. ඒ වගේම ටෙලිනාට්‍යයකත් වැඩ ඇරඹුවා. ඔය අතරේ පේරාදෙණිය සරසවියේ මගේ පශ්චාත් උපාධියත් හදාරනවා. 

පසුගිය කාලයේ ඔබ ගැන වැඩිපුර කතාබහ වුණා. මොකද ඒ ගැන හිතන්නේ ?

රට දූෂිත තැනක ගමන් කරමින් සිටින යුගයක තමයි, අපි අපේ හඬ අවදි කළේ. කලාකරුවන් විදිහට අපි අපේ යුතුකම ඉටුකළ යුතුයි. පසුගිය ජනාධිපතිවරණයත් සමග අපිට තවදුරටත් ඒ ගැන කතා කරන්න අවකාශය ලැබුණා. මේ නිසා අලුත් පරපුර සමග අපි අත්වැල් බැඳගත්තා.

අද කලාකරුවන්ට නිදහස්‌ මතයක්‌ ඉදිරිපත් කරන්න පුළුවන්ද ?

මේ මොහොත වෙද්දී පුළුවන්. පසුගිය කාලයෙ එහෙම නිදහස්‌ මතයක්‌ ඉදිරිපත් කරන්න දේශපාලනඥයන්ට, කලාකරුවන්ට, මාධ්‍යයට ඉඩ ප්‍රස්‌ථාව ලැබුණේ නැහැ. රටේ පරිකල්පනය දියුණු වෙනවාට පාලකයක්‌ බයවෙලා හිටියා. එයට විරුද්ධවයි අපි අලුත් පරපුර සටන් කළේ. 

ජීවිතය ගැන මොන විදිහටද හිතන්නේ ?

මම හැමදාම ජීවත්වුණේ මම විශ්වාස කරපු විදිහට. අදටත් ඒකේ වෙනසක්‌ නැහැ. 

පසුගිය කාලයේ වැඩිපුර දායකත්වය ලබාදුන්නේ මොන අංශයටද?

චිත්‍රපට හතරක වැඩ අවසන් කරන්න මට හැකිවුණා. මම රඟපෑ චිත්‍රපට හතරෙන් මෝටර් බයිසිකල්, ප්‍රේමය නම් මේ වසරේ දී ප්‍රේක්‍ෂකයන්ට දැකගන්න ලැබේවි. මම කොහොමටත් එහෙම ලොකුවට වැඩ කරන චරිතයක්‌ නෙමෙයි.

ඇයි ඒ ?

හොඳ කලාවක්‌ ඉදිරිපත් කරන්න පුළුවන් අවකාශ වසලා තිබුණේ. ඒ වගේම කලාව හොඳ තැනක තිබුණේ නැහැ. අනික්‌ කාරණාව තමයි හොඳ කලාවක්‌ කරන රාජ්‍යයක්‌ බිහිවෙලා තිබුණෙත් නැහැ. ඒ හින්ද තෝරා බේරාගෙන වැඩකරන්න සිද්ධ වුණා.

ක්‍ෂේත්‍රය ගැන තියෙන්නේ මොන විදිහේ මතයක්‌ද?

අපේ රටේ තියෙන්නේ ඉතාම හොඳ සම්පත්. මිනිස්‌සු තමන්ගේ වුවමනාව හින්දාම තනියම ඉගෙනගෙන ඉතාම උනන්දුවෙන් යමක්‌ කරන්න උත්සාහ කළා. රට ඇතුළේ ඊට තිබුණ ඉඩකඩ බොහොම අල්පයි. කලාවෙන් මිනිසා සහ කලාකරුවා නිතරම එකතු කර තබනවා. රාජ්‍ය අනුග්‍රහයෙන් කලාව තුළින් මිනිස්‌සුන්ට වැඩක්‌ කරන්න පුළුවන් වුණ කලාකරුවන් ඒ අවකාශය ලබාගෙන වැඩක්‌ කළාද කියන එකත් ගැටලුවක්‌. එහෙමත් නැතිනම් ඔවුන් වැඩකළේ පටු අවකාශ වෙනුවෙන්ද කියලත් ප්‍රශ්නාර්ථයක්‌ මතුවෙනවා. ඒ හින්දා ක්‍ෂේත්‍රයක්‌ විදිහට ගත්තොත් කලකිරීමක්‌ තිබුණා. ඒක වෙනස්‌ කරන්න ඕනෑ කියන මතයක අපි සිටිනවා.

ඔබේ හැකියාවට නිසි තැනක්‌ ලැබිලා තියෙනවාද?

සැබෑ කලාවට නිසි තැනක්‌ ලැබිලා නැතිකොට මට නිසි තැනක්‌ හිමිවෙනවා කියන්න බැහැනේ.

නීතිඥවරියක්‌ වෙන්න හීන දැක්‌කා කියලාත් ආරංචියි ?

ඔව්. උසස්‌ පෙළ කරන කොට එකම බලාපොරොත්තුව සරසවි අධ්‍යාපනයට පිවිසෙන්න. එහිදී මට වුවමනා වුණේ වැඩිපුර ලකුණු ලබාගෙන නීති පීඨයට පය තබන්න. නමුත් මම අවසානයේ උසස්‌ පෙළ විෂයන් කිහිපයක්‌ වෙනස්‌ කළා. ඒ හින්දා මට නීති පීඨයට පිවිසෙන්න බැරිවුණා. අවසානයේ නීතිඥවරියක්‌ වීමේ සිහිනය බොඳවුණා. මොනවා වුණත් නීතිඥවරියක්‌ නොවීම ගැන මම සතුටු වෙනවා. 

නමුත් නීතිඥවරියක්‌ වුණා නම් මීට වැඩිය හොඳයි නේද?

මට රාමුවක්‌ ඇතුළේ වැඩකරන්න පුළුවන් කියලා හිතන්න අමාරුයි. මේ වෙලාවේ මම ස්‌වාධීනව ඉඳගෙන වැඩකරන එක ගැන හරිම සතුටුයි. 

කලාව ජීවිතය කරගෙන අපේ රටේ ජීවත්වෙන එක සාර්ථකද?

මම හිතන්නේ අපේ ගොඩක්‌ කලාකරුවෝ එහෙම ජීවත් වුණා. හැබැයි කලාව ජීවිතය කරගත්තහම ඔවුන්ට ඒකට ලැබෙන අභිමානය කොයිතරම් දුරට සාර්ථකද කියන එකයි ප්‍රශ්නය. ඔවුන් කැමැති කලාව කරන්න වෙන්නේ මුදල් ඉපයීම කියන කාරණාව මුල්කරගෙනයි. එවිට ඔවුන් අකැමැති කලාවක්‌ වුණත් එතැනදී කරන්න සිද්ධවෙනවා. අවසානයේ ඒ වෙනුවෙන් වන්දිභට්‌ට කමක්‌ පවා කරන්න සිද්ධවේවි. ඒක නිසා තමයි මේ ක්‍රමයේ වෙනසක්‌ අවශ්‍ය. 

සමනලීගේ ජීවිතයේ පසුතැවීම් තියෙනවාද?

මට ජීවිතයේ ගන්න තීරණ හැමවිටකදීම අත්දැකීමක්‌ විදිහට ගන්නවා විනා පසුතැවීමක්‌ කියලා හිතන්නේ නැහැ. 

ඔබට රඟපෑමේදී සීමා මායිම් අවශ්‍යද?

සීමා මායිම් නැතුව රඟපාන්න පුළුවන් නම් මම කැමැතියි.

ඇයි ඒ ?

ඒක තමයි රංගන ශිල්පිණියකගෙන් හෝ ශිල්පියෙකුගෙන් විය යුත්තේ. ඕනෑම වෘත්තියක්‌ තුළ විනයක්‌ තිබිය යුතුයි. ඒ විනය කියන්නේ සාදාචාරාත්මක විනය නොවේ. නමුත් නිර්මාණයකට සාධාරණත්වයක්‌ ඉටුකිරීමේදී එහි ඇති සදාචාරාත්මක සීමාවන්වලට යටත් නොවී ඒ දිහා වෙනස්‌ කෝණයකින් බලන්න පුළුවන් නම් හොඳ නිර්මාණයක්‌ ප්‍රේක්‍ෂකයාට ලබාදෙන්න පුළුවන්. හැබැයි ඒ දේවල් පිළිගන්න සමාජය තුළත් හොඳ අවබෝධයක්‌ තිබිය යුතුයි. 

Share this