අසිරිමත් වළලු පද්ධතියක් සහිත ග්‍රහලොවක්

තාරකා විද්‍යාඥයින් විසින් කරන ලද නිරීක්ෂණවලින් අසිරිමත් වළලු පද්ධතියක් සහිත ග්‍රහලොවක් සොයාගෙන ඇත. මෙම ආගන්තුක ග්‍රහලොව J1407b යනුවෙන් නම් කර ඇත. රෝච්ස්ටර් සරසවියේ භෞතික විද්‍යාව සහ තාරකා විද්‍යාව පිළිබඳ මහාචාර්ය, ආචාර්ය එරික් මැමාජැක් විසින් ලියන ලද වාර්තාවකට අනුව මෙම වළලු පද්ධතිය බ්‍රහස්පතී හෝ සෙනසුරු හෝ යන ග්‍රහලෝක දෙකට වඩාත් විශාල වන අතර අවම සෙනසුරුගේ වළලු පද්ධතිය මෙන් 200 ගුණයක් පමණ වනු ඇත.

ප්‍රථම වරට අපගේ සෞර ග්‍රහ මණ්ඩලයෙන් පිටතින් හඳුනාගත් මෙම වළලු පද්ධතියට අවම වශයෙන් වළලු 37 හෝ ඇතැයි විශ්වාස කෙරේ. මෙයින් එක වළල්ලක් සැතපුම් මිලියනයකින් දහයෙන් එකක් පමණ පළල් වනු ඇතැයි ද එබැවින් වළලු පද්ධතියේ විෂ්කම්භය සැතපුම් මිලියන 75 ක් හෝ වනු ඇතැයි ද සඳහන් වෙයි. තව ද මෙම වළලු පද්ධතිය පෘථිවියේ ස්කන්ධයට හා සමාන වූ දූවිලි අංශුවලින් සමන්විත වනු ඇතැයි විශ්වාස කෙරෙයි.

මෙම වළලු පද්ධතිය කේන්ද්‍රයේ ඇතැයි සැලකෙන J1407b නම් ආගන්තුක ග්‍රහලොවේ ස්කන්ධය අවම වශයෙන් බ්‍රහස්පතී ග්‍රහලොවේ ස්කන්ධය මෙන් 4 ගුණයක් හෝ වනු ඇතැයි මෙම විද්‍යාඥයෝ පෙන්වා දෙති.

ආචාර්ය මැමාජැක් සහ ඔහුගේ කණ්ඩායම මෙම වළලු පද්ධතිය පිළිබඳ සංකල්පය වසර 2012 දී ඉදිරිපත් කරන ලද්දේ පෘථිවියේ සිට ආලෝක වර්ෂ 402 ක් පමණ දුරින් පිහිටි J1407 නම් තරුවක් සමඟ J1407b නම් ග්‍රහලොව සහිත වළලු පද්ධතිය හටගත් ග්‍රහණයක ඡායාරූපයක් අධ්‍යයන කිරීමෙනි.

මේ සඳහා මාස දෙකක පමණ කාලයක් තුළ මෙම ග්‍රහණය හා සම්බන්ධව ගත් ඡායාරූපවල පෙන්වන ආලෝක ධාරාවල වක්‍රතාව (Light Curve) පිළිබඳව අධ්‍යයන කර, එමඟින් මෙවන් වළලු සහිත ග්‍රහලොවක් ඇතැයි තීරණය කර ඇත.



Share this