ජනපතිට පහසු ජයක් - සුමනදාස අබේගුණවර්ධන

මෙවර ජනාධිපතිවරණය පැවැත්වෙන 8 වැනිදා පවතින ග්‍රහ තත්ත්වය අනුව මෙන්ම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා උපන් නැකතින් පවතින ඉතාම සුබදායක ග්‍රහ තත්ත්වය අනුව එතුමා පහසු ජයක් ලබන බව ප්‍රවීණ ජ්‍යොතිෂවේදී සුමනදාස අබේගුණවර්ධන මහතා පවසනවා.

එදින උදේ එතුමා පිටත්වන සුබ මොහොතත් සමඟ ඉතාම බලගතු සුබ මොහොතක් එතුමාට යෙදෙන බවත් නමුත් පොදු අපේක්ෂකයාට මැතිවරණ දවසම අසුබ වනවාක් හැර උපන් නැකතේ වඳ නැකත එදින මෛත්‍රීපාල සිරිසේන පොදු අපේක්ෂකතුමාට පවතින බවත් මේ අනුව මැතිවරණ දින ග්‍රහචාරය අනුව එදින උදෑසන 7 වනවිට ඔහුගේ ගජ මිතුරන්ගේ ඡන්දය පවා ඔහුට නොලැබී යාමට ඉඩ ඇත.

මේ අනුව මේ ජනාධිපතිවරණයේදීත් ස්ථිර වශයෙන් ම තම තුන් වැනි ධූර කාලය සඳහා ජනාධිපතිතුමා පහසු ජයක් ලබා ගනු ඇත. මීට පෙර‍ මෙතුමා ලැබූ ජයග්‍රහණ බීබීසී ගුවන් විදුලියෙන් ප්‍රචාරය කළාක් මෙන් ම මෙවරත් මෙරට ජනාධිපතිවරණය පිළිබඳ මගේ අනාවැකි එංගලන්තයේ සුප්‍රසිද්ධ ‘ද ‍එකොනොමිස්ට්’ සඟරාවේත්, ඇමෙරිකාවේ නිව්යෝක් ටයිම්ස් පුවත්පතේත් පළවී ඇතැයි අබේගුණවර්ධන මහතා කීය.

ඕනෑම අභියෝගයක් ජයගත හැකි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මේ අභියෝගයත් වි‍ශිෂ්ට අයුරින් ජයගන්නා අතර දශක තුනක් පුරා පැවැති ලොව ප්‍රබලම ත්‍රස්තවාදී කණ්ඩායම පරාජය කළා සේ ම මේ ජනාධිපතිවරණයේදී එතුමාට විරුද්ධව ක්‍රියාත්මක වන විදෙස් කුමන්ත්‍රණයත් එතුමා විශිෂ්ට අන්දමින් පරාජය කරනු ඇතැයි ද අබේගුණවර්ධන මහතා කීය.

Share this