යහපාලන රජයේ තහනම බිඳ බස්නාහිර මන්ත්‍රීහු 30 ක් රට සවාරියක
යහපාලන රජය යටතේ මන්ත්‍රීවරුන්ට අනවශ්‍ය විදෙස් සංචාර නතර කර තිබියදී බස්නාහිර පළාත් මහ ඇමැති ඉසුර දේවප්‍රිය මහතා විසින් බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරුන් තිස්දෙනකු රුසියාවට හා බල්ගේරියාවේ සංචාරයකට යවා තිබේ.
බස්නාහිර පළාත් සභා මහ ඇමැති ඉසුර දේවප්‍රිය මහතාගේ දේශපාලන දිවියට පසුගියදා වසර 25 ක් පිරුණ අතර මෙම මන්ත්‍රීවරුන්ගේ රුසියානු සංචාරයද ඊට සමගාමීව සිදුවීම පිළිබඳව පළාත් සභා මන්ත්‍රීවරුන් අතර සැකයක් මතුව ඇත.
මෙම පළාත් සභා මන්ත්‍රීවරුන් පිරිසට වීසා ලැබුණු විගස රුසියාවට හා බල්ගේරියාවට යවා ඇති අතර එසේ නොකළේ නම් ඉහළ දේශපාලන අධිකාරිය මෙම සවාරිය අවලංගු කිරීමට ඉඩ තිබුණු බව ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයෙක් දිවයිනට පැවැසීය.
මීට අමතරව පසුගියදා පළාත් සභා මහ ඇමැතිවරුන් දකුණු අප්‍රිකාවේ නගර සැලැස්ම පිළිබඳ අධ්යයනයකටද ගොස් ඇත.
මෙම සවාරිය පිළිබඳව බස්නාහිර පළාත් මහ ඇමැති ඉසුර දේවප්‍රිය මහතාගෙන් දිවයින කළ විමසීමේදී ඒ මහතා කියා සිටියේ පසුගිය වසර දෙක තුළම මන්ත්‍රීවරුන්ට සවාරි යැම නතර කර තිබූ බවයි. නමුත් රුසියාවේ දේශපාලනය අධ්‍යයනය කිරීම සඳහා විෂයානුබද්ධ හේතුවක් මත මෙම පිරිස රුසියාවට හා බල්ගේරියාවට යෑවූ බවද මහ ඇමැතිවරයා කියා සිටියේය.
කලින් පැවති පාලන සමයේදී මන්ත්‍රීවරුන් සවාරි ගියද මෙම පළාත් සභා මන්ත්‍රීවරුන්ට ලැබුණු එකම හා අවසාන අධ්‍යයන සංචාරය මෙය වනු ඇතැයිද මහ ඇමැතිවරයා පැවැසීය.
උපුටා ගැනීම - දිවයින පුවත්පත