Fraud to 8 million by 20 Laptop Moneragala Hospital

මොනරාගල මහ රෝහල Laptop 20කින් ලක්ෂ 8ක් වංචා කරලා

මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට ලැප්ටොප් පරිගණක (Laptop Computers) විස්සක් මිලදී ගැනීමේදී මහා පරිමාණයේ වංචාවක් සිදු වී ඇතැයි රෝහල් සේවකයෝ පවසනවා. 2015 දෙසැම්බර් මාසයේ HP Pavilion Core I7 වර්ගයේ ලැප්ටොප් 20ක් මිලදී ගෙන ඇත්තේ එකක් රුපියල් 115990ක් බැගිනි. ඊට අමතරව ලැප්ටොප් සඳහා වින්ඩෝස් මෙහෙයුම් පද්ධති  20ක් (Win 8.1 Profess 10ncl 0/5) එකක් රුපියල් 23000 බැගින් මිලදී ගෙන ඇත. 
ලැප්ටොප් සඳහා රුපියල් 2329800ක්ද මෙහෙයුම් පද්ධති සඳහා 470000ක්ද ගෙවා ඇත. 
බිල් අංක 2597 යටතේ මොනරාගල පිහිටි ආයතනයකට රුපියල් 2789000ක මුදලක් චෙක්පතකින් ගෙවා ඇත. 
මෙම ලැප්ටොප් මිලදී ගැනීම සඳහා ප්‍රසිද්ධියේ මිල ගණන් කැඳවා නැත. මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේ ගිනුම් අංශයේ නිලධාරියකු මොනරාගල පිහිටි වෙළෙඳ ආයතන තුනකින් මිල ගණන් ඉදිරිපත් කර ඇත. ඒ එක් ආයතනයකින් ලැප්ටොප් මිලදී ගෙන මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට භාණ්ඩ සපයා ඇත්තේ වෙනත් ආයතනයකිනි. චෙක්පත ලබාගත් ආයතනය මොනරාගල පිහිටි පෞද්ගලික බැංකුවක නව ගිණුමක් ආරම්භ කොට චෙක්පත මාරු කරගෙන තිබෙනවා. 
මිලදී ගෙන ඇති ලැප්ටොප් එකක විවෘත වෙළෙඳ පොළේ මිල රුපියල් 80000ක් පමණ වේ. වැඩි ප්‍රමාණයක් මිලදී ගන්නා විට වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය නොමිලේ ලබාදෙයි. එය වෙනම මිලදී ගත්තත් එහි උපරිම මිල රුපියල් දස දහස නොඉක්මයි.
මෙසේ මිලදී ගත් ලැප්ටොප් රෝහලට ලැබි ඇත්තේ මාස කිහිපයක් ගතවීමෙන් පසුවයි. එම ලැප්ටොප් වෛද්‍යවරුන්ට බෙදාදී තිබෙන අතර ලැප්ටොප් අවශ්‍ය අංශවලට ලබාදී නැති බවයිව වාර්තා වන්නේ. 
ලැප්ටොප් මිලදී ගැනීමේදී රුපියල් ලක්ෂ 8කට ආසන්න මුදලක් වංචා කර ඇති බව පවසන රෝහල් සේවකයෝ මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂනයක් පවත්වන ලෙස ඉල්ලා සිටිනවා. 
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේ වෛද්‍ය අධිකාරි ආර්.එම්.ඩී. රත්නායක මහතාගෙන් කළ විමසීමකදී කියා සිටියේ ලැප්ටොප් මිලදී ගැනීමදී සිදුව ඇතැයි කියන මූල්‍ය වංචාව සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකිරීමට ඇති හෙයින් මාධ්‍ය වෙත තොරතුරු ලබාදිය නොහැකි බවයි. 

Share this