මහින්ද අගමැති - නාමල්ට විදේශ කටයුතු අමාත්‍ය ධුරය

ඒකාබද්ධ විපක්ෂය විසින් නම් කරනු ලබන ඡායා කැබිනට්ටුව අද පත්කරගෙන ඇති බව වාර්තා වනවා. එම කැබිනට්ටුවට අනුව හිටපු ජනාධිපති, වත්මන් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා වශයෙන් නම් කර තිබෙනවා. එසේම රාජ්‍ය ආරක්ෂාව සහ ආගමික කටයුතු පිළිබඳ අමාත්‍ය ධුරයන්ද ඔහුට පිරිනමා තිබෙනවා. 
බන්දුල ගුණවර්ධන මහතා එහි මුදල් අමාත්‍යවරයා වන අතර විමල් වීරවංශ මහතාට හිමිව ඇත්තේ නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය ධුරයයි. 
අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස ඩලස් අලහප්පෙරුම මහතා පත්කර ඇති අතර පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ධුරයට රංජිත් සොයිසා මහතා නම් කර තිබෙනවා. 
කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය ධුරය ශ්‍රියානි විජේවික්‍රමට හිමිව ඇති අතර වරාය හා නාවික කටයුතු ඇමැතිවරයා වන්නේ කුමාර වෙල්ගම මහතායි. 
නාමල් රාජපක්ෂ මහතාට හිමිව ඇත්තේ විදේශ කටයුතු අමාත්‍ය ධුරයයි. 
චමල් රාජපක්ෂ මහතා සිවිල් ගුවන් සේවා හා මහා මාර්ග අමාත්‍යවරයා ලෙස පත් කර තිබෙන අතර රෝහිත අබේගුණවර්ධන මහතා විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා වනවා. 
විජිත බේරගොඩ මහතාට හිමිව ඇත්තේ වනජීවි අමාත්‍ය ධුරයයි. එස්.සී. මුතුකුමාරණ මහතා තැපැල් කටයුතු අමාත්‍යවරයා ලෙස පත් කර තිබෙනවා. 
ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් අද පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වූ අතර එහිදී මෙම ඡායා කැබිනට්ටුව පත් කරගෙන තිබෙනවා. ඒ අනුව අද සිට මෙම ඡායා කැබිනට්ටුව මගින් ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ගේ කාර්ය භාර්යයන් පිළිබඳ සෘජු අධීක්ෂණය කරනු ඇති. 


Share this