වැලන්ටයින් දවසේ සීගිරි කැටපත් පවුර කුරුටු ගෑ තරුණිය රිමාන්ඩ්

පෙබරවාරි 14 වැනිදාට යෙදුණු පෙම්වතුන්ගේ දිනය හෙවත් 'වැලන්ටයින්' දිනයදා සීගිරිය කැටපත් පවුරේ පෙම් පණිවුඩයක්‌ සටහන් කළ මඩකලපුවේ පදිංචි තරුණියක ඊයේ (15 වැනිදා) දඹුල්ල අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 18 වැනිදා දක්‌වා රක්‌ෂිත බන්ධනාගාර ගත කර ඇත.

මෙසේ බන්ධනාගාර ගතකර ඇත්තේ මඩකලපුව සිත්තන්ඩි ප්‍රදේශයේ පදිංචි අවුරුදු විසිහතක්‌ වන ඇඟලුම් සේවිකාවකි.

එම තරුණිය ඇඟලුම් කම්හලේ පිරිසක්‌ සමඟ සීගිරිය නැරඹීමට පැමිණ කැටපත් පවුරේ කුරුටු ගීයක්‌ මකා පෙම් පණිවුඩයක්‌ සටහන් කරන අවස්‌ථාවේ නරඹන්නකු එය දැක පුරාවිද්‍යා නිලධාරීන් දැනුවත් කිරීමෙන් පසු ඇය අත්අඩංගුවට ගෙන සීගිරිය පොලිසියට භාර දී ඇත.

කැටපත් පවුර අතගෑම තහනම් බවට භාෂා තුනෙන්ම නිවේදනයක්‌ ප්‍රදර්ශනය කර තිබෙන අතර එය සැලකිල්ලට නොගෙන මීට පෙර අවස්‌ථාවකද මඩකලපුව සහ කොළඹ ප්‍රදේශයේ දෙදෙනකු කුරුටු ගී විකෘති කිරීම යටතේ පොලිසියෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

සීගිරිය පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රදීප් කුමාර මහතාගේ උපදෙස්‌ මත පොලිස්‌ සැරයන් (26081) නවරත්න මහතා විසින් සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කර ඇත.











Share this