ෆුල් ෆේස් කොල්ල කල්ලිය අතුරුගිරියේදී කොටුවෙයි

ගල්කිස්ස අත්තිඩිය ප‍්‍රදේශයේ පෞද්ගලික බැංකුවක් ඇතුළු බැංකු, ඉන්ධනහල් සහ වෙළෙඳසල් මුහුණු ආවරණ හිස්වැසුම් පැලඳ කොල්ලකෑ අපරාධ කල්ලිය අතුරුගිරිය ‍පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

කොල්ලකල්ලි සාමාජිකයින් සිව් දෙනකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් සතුව තිබි ටී 56 ගිනි අවියක්, උණ්ඩ 30ක් වෑන් රථයක් හා යතුරුපැදියක් සොයා ගැනීමට ‍පොලිසියට හැකිවී තිබේ.ඉකුත් වසරේ සැප්තැම්බර් 10 වැනි දින මෙම කල්ලිය හෝමාගම මුල්‍ලේගම ප‍්‍රදේශයේ වෙළෙඳසලක් කොල්ලකා රුපියල් තුන්ලක්ෂ දහදාහක් පැහැරගෙන ගොස් තිබුණි.
මේ සම්බන්ධයෙන් අතුරුගිරිය ‍පොලිසිය ඇරඹූ පරීක්ෂණවල ප‍්‍රතිඵලයක් වශයෙන් ඉකුත් 02 වැනිදා මොවුන් පිරිස ‍පොලිස් භාරයට ගෙන ප‍්‍රශ්න කර තිබුණි. 

එහිදී මොවුන් මෙම කොල්ලයන් කිහිපයටද වුවමනා වී සිටි කොල්ලකරුවන් බව ‍පොලිසිය පවසයි.

අවිස්සාවේල්ල ‍පොලිස් වසමේ 2014-08-21 වැනි දින මුහුණු ආවරණ හිස් වැසුම් පැලඳ ටී 56 ගිනි අවි පෙන්වා වෙළෙඳ සලකින් රුපියල් 359500 වටිනා මුදල් හා දේ‍පොළ කොල්ලකෑම

2014-09-27 වැනි දින මුහුණු ආවරණ හිස් වැසුම් පැලඳ වෙළෙඳසලකට පැමිණ ටී 56 ගිනි අවියකින් වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදු කර රුපියල් 130000ක මුදලක් කොල්ලකෑම

පිළියන්දල ‍පොලිස් වසමේ 2014-12-11 වැනි දින මුහුණු ආවරණය හිස් වැසුම් පැලඳ කැස්බෑව ප‍්‍රදේශයේ ඉන්ධන හලකට පැමිණ ටී 56 ගිනි අවි පෙන්වා මුදල් රුපියල් 372000ක් කොල්ලකෑම

2014-02-16 වැනි දින මුහුණු ආවරණ හිස් වැසුම් පැලඳ බෝකුන්දර කොමර්ෂල් බැංකුවට පැමිණ ටී 56 ගිනි අවි පෙන්වා රුපියල් 1194000ක් මුදල් කොල්ලකෑම

වැලිවේරිය ‍පොලිස් වසමේ 2014-12-23 දින මුහුණ ආවරණ හිස් වැසුම් පැලඳ වැලිවේරිය ප‍්‍රදේශයේ ඉන්ධන හලකට පැමිණ ටී 56 ගිනි අවි පෙන්වා මුදල් රුපියල් 445000ක් කොල්ලකෑම

ගල්කිස්ස ‍පොලිස් වසමේ 2015-03-03 වැනි දින මුහුණු ආවරණ හිස් වැසුම් පැලඳ අත්තිඩිය කොමර්ෂල් බැංකුවට පැමිණ ටී 56 ගිනි අවි පෙන්වා මුදල් රුපියල් 4628125ක් කොල්ලකෑම

හොරණ ‍පොලිස් වසමේ 2014-10-23 වැනි දින මුහුණු ආවරණ හිස් වැසුම් පැලඳ හොරණ සමුපකාර ඉන්ධනහලට පැමිණ ටී 56 ගිනි අවි පෙන්වා මුදල් රුපියල් 1263348ක් මුදල් කොල්ලකෑම

වැල්ලම්පිටිය ‍පොලිස් වසමේ 2015-02-12 වැනි දින පැය 19.30ට පමණ වැල්ලම්පිටිය නිවසකට පැමිණ ටී 56 ගිනි අවියකින් වෙඩි තබා බියගැන්වීම

මහරගම ‍පොලිස් වසමේ 2014-12-01 වැනි දින මුහුණු ආවරණ හිස් වැසුම් පැලඳ පිළියන්දල පාරේ පිහිටි වෙළෙඳසලකට පැමිණ ටී 56 ගිනි අවියකින් වෙඩි තබා දෙදෙනකුට තුවාල සිදු කර රුපියල් 40000 මුදලක් කොල්ලකෑම

වැල්ලවත්ත ‍පොලිස් වසමේ 2014-12-23 වන දින වැල්ලවත්ත ගාලූ‍ පාරේ පිහිටි රන් භාණ්ඩ වෙළෙඳසලකට මුහුණු ආවරණ හිස් වැසුම් පැලඳ ටී 56 ගිනි අවියකින් වෙඩි තබා බිය ගැන්වීම

කොට්ටාව ‍පොලිස් වසමේ 2015-01-25 වැනි දින මුහුණු ආවරණ හිස් වැසුම් පැලඳ කොට්ටාව ඉන්ධන හලකට පැමිණ ටී 56 ගිනි අවියකින් වෙඩි තබා බිය ගැන්වීම ආදියට මොවුන් සම්බන්ධ බව ‍පොලිසිය කියයි.

මෙහි ප‍්‍රධාන සැකකරු වන ”‍තුසිත”‍ මහරගම කළු තුෂාර නමැත්තාගේ ප‍්‍රධාන ගෝලයා බවත්, මත්කුඩු සමග කොටුවී වසර 4 ක්‌ බන්ධනාගාරගතව සිට මීට මාස 6 කට පෙර එළියට විත් මෙම කොල්ල කල්ලිය මෙහෙයවා ඇති බවත් කියෑවේ.

තිදරු පියෙකු වන මෙහි ප‍්‍රධාන සැකකරු බිරිඳ සහ දරුවන් අත්හැර දමා කොළඹ ප‍්‍රදේශයේ විවිධ ස්‌ථානයන්හි නවාතැන් ගන්නා අතර කොල්ලකා උපයන මුදලින් කැසිනෝ ක‍්‍රීඩාව කරන බව හෙළිවී ඇත. 

මෙහිදී තම ගෝල බාලයන් සඳහා අධික වටිනාකමක්‌ ඇති ජංගම දුරකථන ලබාදී ඒවා නඩත්තු කරන්නේද ප‍්‍රධාන සැකකරු බවත් එම දුරකථන පණිවුඩ හුවමාරු කිරීම් ඔස්‌සේ මෙම කොල්ලකෑම් සිදුකර ඇත. මෙම කොල්ලකෑම් සඳහා දැනට බන්ධනාගාර ගතවී සිටින පාතාල නායකයකු වන ලක්‍ෂ්මන් නමැති තැනැත්තා ගිනි අවිය ලබාදී ඒ සඳහා අවශ්‍ය උපදෙස්‌ මෙහෙයවීම් එහි සිටම සිදු කරන බවත් මෙහි ප‍්‍රධාන සැකකරු වමතින් වෙඩි තැබීම සඳහා අති දක්‍ෂයකු බවද පොලිසිය පවසයි.

Share this