ශ්‍රි ලංකා ක්‍රිකට් නිලවරණය ඇරඹේ

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ඉදිරි දෙවසර සඳහා නව නිලධාරී මණ්ඩලය පත් කර ගැනීම වන නිලවරණය ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.

වසර 2කට පසුව පැවැත්වෙන මෙවර නිලවරණයේදී සභාපති හා ලේකම් ධුර ඇතුළු ප්‍රධාන ධුර සඳහා නිලධාරීන් 7 දෙනෙකු හා කමිටු සාමාජිකයන් 20 දෙනෙකු තෝරා ගැනීමට නියමිත ය.

ක්‍රීඩා සමාජ 85කට අයත් ඡන්ද 147 ක් නිලවරණයේදී ප්‍රකාශ කිරීමට නියමිත ව තිබූ අතර ඡන්ද හිමිකම පිළිබඳ ගැටලුවක් හේතුවෙන් මාතලේ දිස්ත්‍රික් සංගමයේ ඡන්ද 2ක අවලංගු කෙරිණ.

පළාත් ක්‍රිකට් සංගම් 5ක්, දිස්ත්‍රික් ක්‍රිකට් සංගම් 22 ක්, අනුබද්ධිත ක්‍රීඩා සංගම් 6ක් හා ප්‍රමුඛ පෙළ ක්‍රිකට් සමාජ 29 කට ඡන්ද 2ක බැගින් භාවිත කිරීමේ අවස්ථාව හිමි වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අනුබද්ධිත ක්‍රිකට් සමාජ 23 ක් ක්‍රියාත්මක වන අතර ඔවුන්ට එක් ඡන්දය බැගින් භාවිත කිරීමේ අවස්ථාව හිමි වේ. ඒ අනුව අද ප්‍රකාශ කිරීමට නියමිත ඡන්ද ගණන 145කි.

විශේෂ ආරක්ෂක සැලස්මක් යටතේ ක්‍රියාත්මක ක්‍රිකට් නිලවරණ භූමියට පිටස්තර පුද්ගලයන්ට ඇතුළු වීමේ අවස්ථාව හිමි නොවේ.

ඡන්ද හිමි ක්‍රීඩා සංගම්වලින් ඡන්දය භාවිත කිරීම සඳහා නම් කරන ලද පුද්ගලයින් හා අපේක්ෂකයින්ට පමණක් මෙම අවස්ථාවට සහභාගී විය හැකි ය.

Share this