නිරුවතින් පාරේ යන්නද මේ ඉල්ලන්නේ!- ජනපති මෛත්‍රී අසයි

අන්තර්ජාලය හරහා මා පට්‌ට ගහනවා. පොඩි පට්‌ටම් කරන්න හදනවා. මා අඹරන්න හදනවා. මට දිගින් දිගටම පහර ගහනවා. එසේ කිරීමෙන් මාව අඹරන්න කාටවත් බැහැ. දේශීය සංස්‌කෘතිය මේ මගින් විනාශ වෙන්නේ යෑයිද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේය. බත්තරමුල්ල ''අපේ ගම'' පරිශ්‍රයේදී ඊයේ (29 දා) පැවැති ජාතික හස්‌තකර්මාන්ත සම්මාන ප්‍රදානෝත්සවයේදී ජනාධිපතිවරයා  මෙම අදහස්‌ පළ කළේය.

එහිදී තවදුරටත් අදහස්‌ දැක්‌වූ ජනාධිපතිවරයා මෙසේද කීය.

කොළඹ පැවැති සංගීත සංදර්ශනයක්‌ ගැන මා කතා කළා. ඒක අල්ල ගෙන මට දිගටම පහර දෙනවා. විජාතික සංස්‌කෘතිය වැළඳගත් අය මේ දේවල් කරනවා. මේ අය ඉල්ලන සංස්‌කෘතිය නිදහස කුමක්‌ද? ඇඳුම් නැතිව පාරේ යැමේ නිදහසද මේ ඉල්ලන්නේ?.

අලුත් ආණ්‌ඩුවක්‌ හැදුවේ අපේ දේවල් ආරක්‍ෂා කිරීමට. ප්‍රබුද්ධ දේශයක්‌ ගොඩනැගීමට. විජාතික සංස්‌කෘතිය වැළඳගත් අයට එය බාධාවක්‌ වනවා ඇති. ඒත් ඔවුන්ට නිරුවතින් පාරේ යන්න ඉඩ දෙන්න අපි සූදානම් නැහැ. අපේ සැකැස්‌ම හැදියාව හා හොඳ නරක අනුවයි මා වැඩ කරන්නේ.

මම වෙලේ, කුඹුරේ, පැලේ, කමතේ, නියරේ ගමේ ඇවිද්ද මිනිහෙක්‌. එහෙම හැදුණු වැඩුණු අපට මෙවැනි අශීලාචාර දේවල්වලට ඉඩ දෙන්න බැහැ. නිදහස දෙන විට නිරුවතින් පාරේ යැමේ නිදහස දෙන්න නොහැකි බව මේ අය අවබෝධ කර ගත යුතුයි යෑයිද ජනාධිපතිවරයා කීය.

Share this