කොටදෙණියාව අකරන්කහ ප්‍රදේශයේදී බරපතළ අපයෝජනයට ලක්කොට ඝාතනය කෙරුණු සේයා සදෙව්මි දියණියගේ අවසන් කටයුතු අද (15) පස්වරුවේ සිදුකෙරුණා. ඒ, ප්‍රදේශවාසීන් දහස් ගණනකගේ සහභාගිත්වයෙන්. පසුගිය සිකුරාදා රාත්‍රියේ නිවසින් අතුරුදන්ව සිටි සදෙව්මි දැරියගේ මළ සිරුර ඇයගේ නිවසට මීටර් 300ක් පමණ නුදුරින් පිහිටි ඇළ මාර්ගයක ඉවුරේ තිබී පසුගිය ඉරිදා සොයා ගැනුණා.
ඇයගේ අතුරුදන්වීම මෙන්ම ඝාතනයට ලක්වීම සම්බන්ධයෙන් රට පුරා ජනතාවගේ දැඩි අවධානය යොමුවුණා. ඇයගේ ඝාතනය සම්බන්ධයෙන් රටම කම්පාවට පත්ව සිටිනවා. සේයා සදෙව්මි දියණියගේ අවසන් කටයුතු අද (15) සිදු කෙරුණේ බඩල්ගම අකරන්ගහ සුසාන භූමියේදීයි.
මෙම අවමංගල්‍ය උත්සව භූමියට පොලිස් ස්ථාන කිහිපයකින් පොලිස් ආරක්ෂාව ලබා දීමට කටයුතු යොදා තිබූ බව ප්‍රදේශවාසීන් පවසනවා. යම් හදිසි තත්ත්වයක් ඇති වුවහොත් පාලනය කිරීම සඳහා මෙලෙස පොලිසිය යොදවා තිබූ බවත් වාර්තා වනවා. මෙම අවස්ථාවට මැති ඇමතිවරුන් මෙන්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුත් දහම් සිරිසේන මහතාද සහභාගී වුණා.
මේ අතර සේයා සදෙව්මිගේ අවසන් කටයුතුවලින් පසු සැකකරුවන් අත්අඩංගුවට ගන්නැයි බලකරමින් දැරියගේ නිවස අසල විශාල පිරිසක් රැස්ව සිටි බවයි වාර්තා වන්නේ. ඒ අනුව ප්‍රදේශයේ ආරක්ෂාව තවදුරටත් තරකර තිබෙනවා. මේ අතර අවසන් කටයුතුවලින් පසු සැකකරුවන් අත්අඩංගුවට ගන්නැයි බලකරමින් දැරියගේ නිවසට බලෙන් ඇතුළු වූ බව කියන දෙදෙනෙක් ද පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අද පස්වරුවේ දැරියගේ අවසන් කටයුතුවලින් පසුව පුද්ගලයන් 2000 ක් පමණ නිවස අසල රැස්ව සිටි බවද වාර්තා වූවා. ඒ අතර ගාල්ල, මාතර, කුරුණෑගල ප්‍රදේශවලින් පැමිණි පිරිස් ද වෙනවා. දැරිය ඝාතනය කළ පාපතරයා කවුදැයි හෙළි කරන ලෙස ඔවුන් පවසමින් මෙලෙස හැසිරෙන බවත් සඳහන්.
පොලිස් පරීක්ෂණ අවසන් වනතුරු සාමකාමීව ඉවසීමෙන් සිටින්නැයි සමාජසේවා හා සමාජ සුබසාධන නියෝජ්‍ය ඇමැති රංජන් රාමනායක මහතා එම ස්ථානයට පැමිණ ඉල්ලීමක් ද කළා.
මේ අතර සේයාගේ අවසන් කටයුතු සිදු කිරීමට සුසාන භූමිය වෙත රැගෙන යන අවස්ථාවේදී බැනර් සහ පෝස්ටර්ද ප්‍රදර්ශනය කෙරුණා. ඒවායේ ඝාතකයාට දැඩි දඩුවම් ලබාදෙන්න, දැරියට සාධාරණය ඉටු කරන්න වගේම සියලුම මාධ්‍ය ආයතනවලටද ස්තුතිය පුද කිරීමක් දක්නට ලැබුණා.