මහින්ද අගමැති අපේක්ෂකයා කරොත් ශ්‍රී ලනිපයට අන්ත පරාජයක් අත්වෙනවා

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අගමැති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කළහොත් තමන් හදා ඇති ගණන් හිලව් අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අන්ත පරාජයක් අත්වන බව ග්‍රාමීය ආර්ථික කටයුතු ඇමැති එස්. බී දිසානායක මහතා  පවසනවා. එහෙත් ඉදිරි මහ මැතිවරණයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානයට ජයග්‍රහණය කිරීමට එතුමන්ගේ සහය මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ නායකත්වය යටතේ අවශ්‍ය බවත් ඒ වෙනුවෙන් හිටපු ජනාධිපතිවරයාට පමණක් නොව ඕනෑම කෙනෙකුට සන්ධාන වේදිකාව විවෘත බවත් එස්.බී. දිසානයක මහතා වැඩිදුරටත් පවසනවා.  එය තමන්ගේ පෞද්ගලික මතය වන බවත් ඇතැම් විට එහි යම් වෙනසක් ඇති වීමට හැකි බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ  පැවැති මාධ්‍ය හමුවේදි ඇමැතිවරයා ප්‍රකාශ කළේ.  

පසුගිය ජනාධිපතිවරණයේදි සුළු ජාතීන් සහය ලබාදුන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතාට බව පැවැසු ඒ මහතා එය සැළකිල්ලට ගෙන කටයුතු කළහොත් මහ මැතිවරණය ජයගත හැකි බව කියා සිටියේය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්වරුන්, මහ ලේකම්වරුන්, සංවිධායකවරුන් කිසිසෙත් පක්ෂය කඩා බිඳ වැටීමට ඉඩ නොදෙනු ඇති බවට තමන්ට දැඩි විශ්වාසයක් ඇතැයි දිසානායක මහතා පැවැසීය.

සුළු ජාතිකයින් බහුතරයක් පසුගිය ජනාධිපතිවරණයේදි මහින්ද රාජපක්ෂ මහතාට ඡන්දය ලබානොදුන් බවත් ඔහු අගමැති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වුණහොත් එම ඡන්ද යළිත් වරක් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ගිලිහෙනු ඇති බවත් එස්. බී දිසානායක මහතා වැඩිදුරටත් පැවසීය.

Share this