බැසිල් නිවාඩු ඉල්ලන හේතු කිව්වනම් හොඳයි - කථානායක

මාස තුනක් පාර්ලිමේන්තුවට නොපැමිණ සිටීමට නිවාඩු ඉල්ලා ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ අනුමැතිය ඉල්ලා සිටීමට හේතුව සඳහන් කළේනම් හොඳ යැයි කථානායක චමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී බැසිල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ නිවාඩු ඉල්ලුම පිළිබඳ මතුවූ ප්‍රශ්නයේදී පැවැසීය.

විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවේ මාස තුනක කාලයක් නිවාඩු ලබා දෙන ලෙස ඉකුත් 18 වැනිදා පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදී ඉල්ලීමක් ඉදිරිපත් කෙළේය.

මේ ඉල්ලීම විපක්ෂ නායකවරයා විසින් ඉදිරිපත් කළ අවස්ථාවේ නැඟී සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා (ප්‍ර. ජා. ස.) බැසිල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මාස තුනක් පාර්ලිමේන්තුවට නොපැමිණ නිවාඩු ලබා දෙන්නැයි ඉල්ලා සිටින්නේ කුමන කාරණාවක් අරභයා දැයි දැනගැනීමට කැමැති බව කීය.

මන්ත්‍රීවරයා නිවාඩු ඉල්ලන්නේ කුමක් හෝ අසනීප තත්ත්වයක් නිසා ද නැතිනම් විභාගයක් සඳහාදැයි දැනගන්නට කැමැති බව ද අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා තවදුරටත් කරුණු විමසා සිටියේය. මේ ප්‍රශ්නය මතු කළ විටම මූලාසනයේ සිට කථානායක චමල් රාජපක්ෂ මහතා පැවසුවේ නිවාඩු ලබා ගැනීමට මන්ත්‍රීවරයා හේතුවක් ඉදිරිපත් කර සිටියානම් හොඳ බවය.

විපක්ෂ නායකවරයා නැවතත් මේ පිළිබඳව කරුණු පැහැදිලි කරමින් කියා සිටියේ බැසිල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ඔහුට මේ නිවාඩු අනුමත කර දෙන ලෙස තමාගෙන් ඉල්ලීමක් කර තිබුණ බවය.

පාර්ලිමේන්තුවට නොපැමිණ නිවාඩු ලබා ගැනීමට මන්ත්‍රීවරයකු ඊට හේතු ඉදිරිපත් කිරීමේ සම්ප්‍රදායක් මේ දක්වා නොතිබුණ බව ද විපක්ෂ නායකවරයා මෙහිදී සභාවට පෙන්වා දුන්නේය.

Share this