ලිපි දෙකක්‌ සම්බන්ධයෙන් දිවයින මාධ්‍යවේදියා උසාවි කැඳවයි

වැලිකඩ බන්ධනාගාරයේදී ඉකුත් 2012 වසරේ ඇතිවූ සිරකරු කැරැල්ල පිළිබඳ "දිවයින ඉරිදා සංග්‍රහය"ට ලියන ලද ලිපි දෙකක්‌ පදනම් කරගෙන "දිවයින" මාධ්‍යවේදී සමන් ගමගේ මහතා අපරාධකරුවකු යෑයි පවසා "ගෝරයිට්‌" නමැති රාජ්‍ය නොවන සංවිධානයේ ක්‍රියාකාරිකයකු වන නීතිඥ රංගොඩ ආරච්චිගේ සේනක පෙරේරා කොටහේන පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව සමන් ගමගේ මහතාව අධිකරණයට කැඳවා තිබේ.

කොටහේන පොලිසියේ නඩු කටයුතුවලට සම්බන්ධ පොලිස්‌ නිලධාරියකු ඊයේ (14 වැනිදා) "දිවයින" කාර්යාලයට පැමිණ නීතිඥ සේනක පෙරේරාගේ පැමිණිල්ලට අනුව ලබන ඔක්‌තෝබර් මස 05 වැනිදා පෙරවරු 9.00 කොළඹ අලුත්කඩේ අංක තුන අධිකරණයේ පෙනී සිටින ලෙසට සඳහන් සිතාසිය "දිවයින" මාධ්‍යවේදියාට භාර දෙනු ලැබීය.

2015 පෙබරවාරි පළමුදා සහ 22 වැනිදා යන දිනවල "එදා වැලිකඩ හිරගෙදර මොකද වුණේ" සහ "වැලිකඩ වේදිකාවේ රඟන සිංහල කොටි නාඩගම" යන සිරස්‌තල සහිතව සමන් ගමගේ මහතා "දිවයින ඉරිදා සංග්‍රය"ට මෙම ලිපි දෙක ලියා තිබිණි.

එම ලිපි දෙක තුළින් මාධ්‍යවේදී සමන් ගමගේ මහතා ලංකා දණ්‌ඩ නීති සංග්‍රහයේ 110, 113(අ), 120, 200, 484, 486 යන වගන්ති කඩකරමින් අපරාධයක්‌ සිදු කර ඇති බැවින් වහාම ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ඉල්ලා නීතිඥ සේනක පෙරේරා ඉකුත් පෙබරවාරි මාසයේදී කොටහේන පොලිසියට මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය මගින් ජනමාධ්‍ය නිදහස තහවුරු කර තිබියදී දණ්‌ඩනීති සංග්‍රහය යටතේ අපරාධකරුවකු යෑයි පවසා පුවත්පතක ලියා පළ කරන ලද ලිපියක්‌ සම්බන්ධයෙන් පොලිසියකට ඉදිරිපත් වූ පැමිණිල්ලකට අනුව මාධ්‍යවේදියකු සෘජුවම අධිකරණය ඉදිරියට කැඳවූ මුල් අවස්‌ථාවද මෙය වේ.

Share this