සාමාන්‍ය පෙළින් මුල් තැන ගත් තරිඳුට ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයෙන් ඇගයීම්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය විභාගයෙන් ප්‍රථම ස්ථානය හිමි කර ගත් කොළඹ නාලන්දා විද්‍යාලයේ තරිඳු නිර්මාල් වික්‍රමසිංහ බාලදක්ෂයාට ශ්‍රී ලංකාව බාලදක්ෂ සංගමයේ ඇගයීම් සහ තිලිණ ප්‍රදානය කිරීම අප්‍රේල් මස 2 වනදා කොළඹ ‍2 චිත්තම්පලම් ඒ. ගාඩ්නර් මාවතේ පිහිටි ජාතික බාලදක්ෂ මූලස්ථානයේදී පැවැත්විණි. ඒ ප්‍රධාන කොමසාරිස් මහාචාර්ය නිමල් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙනි. ඒ සඳහා සහය ප්‍රධාන කොමසාරිස්වරුන් සහ මූලස්ථාන කොමසාරිස්වරුන්ද සහභාගිව සිටියා. 

උත්සවයට සහභාගි වූ ප්‍රධාන කොමසාරිස්වරයා අදහස් දක්වමිනා කියා සිටියේ අධ්‍යාපනය මූලික කර ගත් සමාජයක බාලදක්ෂ කටයුතුවලින් අධ්‍යාපනයට බාධාවක් බව ඇතැමුන් පැවසුවද තරිඳු බාලදක්ෂයා එම අදහස මිත්‍යාවක් බවට මනාව පසක් කර දී ඇති බවයි. 
එසේම මෙය මුළු මහත් බාලදක්ෂ ව්‍යාපාරයටම මහත් ආඩම්බරයක් ගෙන දෙන ජයග්‍රහණයක් බවත් ප්‍රධාන කොමසාරිස්වරයා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියා. 

මෙම ජයග්‍රහණය මුළු මහත් සිසු පරපුරටම ගෙන දෙන්නේ මහත් අභිමානයක් බවද මෙහිදී අවධාරණය කෙරුණා. එසේම මෙතුළින් වත්මන් සිසු දරුවන්ටත් ඔවුන්ගේ දෙමාපියන්ටත් උගත හැකි පාඩම් බොහෝ අතර ඔවුන්ට ඔවුන්ගේ අනාගත අධ්‍යාපන කටයුතු වඩාත් විශ්වාසයකින් සාර්ථකව කරගෙන යාමට තරිඳු බාලදක්ෂයාගේ ජයග්‍රහණය ප්‍රබලව ඉවහල් වනු ඇති බවද පෙන්වා දුන්නා. 

මෙහිදී සභාව ඇමතූ තරිඳු පවසා සිටියේ බාලදක්ෂ කටයුතුවලින් ලැබුණු දැනුම සහ අවබෝධයන් හරහා තම අධ්‍යාපනික විෂය කරුණු දෙස වඩාත් පුළුල් ලෙස බලා එම කටයුතුවල නියැලීමට තමාට ප්‍රබල මගෙ පෙන්වීමක් බාලදක්ෂ ව්‍යාපාරයෙන් ලැබුණු බවයි. එසේම ඕනෑම දෙයක හොද ‍සහ නරක තීරණය වන්නේ එය තුළ අප කටයුතු කරන ආකාරය අනුව මනා අවබෝධයකින් හා නිසි කළමනාකරණයකින් යුතුව කල හැකි නම් එය සාර්ථක කර ගත හැකි බවයි. 

තරිඳු වික්‍රමසිංහ බාලදක්ෂයා පෝතක බලදක්ෂ අංශයේ ඉහළම ප්‍රදානය වන රන්තරුලාභී පෝතක බාලදක්ෂයකු වන අතර දැනට බාලදක්ෂ අංශයෙන් වනවාසියාගේ රැහැන දක්වා දිනා තිබෙනවා. පසුගිය වසරේ නාලන්ද විද්‍යාලයේ හොඳම කනිෂ්ඨ බාලදක්ෂයා ද වූයේ තරිඳුයි. 





























Share this