සංගා එජාපයෙන් මහනුවරින් මහ මැතිවරණයට...?

ඉදිරි මහ මැතිවරණය සඳහා අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වීමට මෙරට ප‍්‍රබල ක‍්‍රිකට් ක‍්‍රීඩකයෙකු සමග එක්සත් ජාතික පක්ෂය පැවැත් වූ සාකච්ඡා සාර්ථක වී ඇති බව එම පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේය.

මහනුවර දිස්ත‍්‍රික්කයෙන් ඉදිරි මහ මැතිවරණයට අපේක්ෂකයෙකු ලෙස මෙලෙස එක් වීමට නියමිතව ඇත්තේ ජ්‍යෙෂ්ඨ ක‍්‍රිකට් ක‍්‍රීඩක කුමාර් සංගක්කාර මහතායි.

මෙම සාකච්ඡා ක‍්‍රිකට් ලෝක කුසලානයට පෙර පැවැත්වී ඇති අතර ඊට එජාපයේ ඉහළම පෙළේ දේශපාලනඥයින් එක් වී ඇත.

මේ අතරම පැවැති ජනාධිපතිවරණ සමයේ එජාප ෆෙස්බුක් හා සමාජ ජාල ප‍්‍රවර්ධන වැඩසටහන සඳහා එක් වූ තුෂාර වන්නිආරච්චි ගම්පහ දිස්ත‍්‍රික්කයෙන් තරග කිරීමට ගෙන ඇති තීරණයද තව දුරටත් මෙම සාකච්ඡාවේදී තහවුරු වූ බවත් සඳහන්.

තුෂාර වන්නිආරච්චිගේ සබඳතාවයක් මත කුමාර් සංගක්කාර ද මෙම යෝජනා සඳහා එකඟ වී ඇති බවත් එම පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේය.

කෙසේ වෙතත් මේ දිනවල පැවැත්වෙන ක‍්‍රිකට් ලෝක කුසලානය අවසන් වන තෙක් මෙම සාකච්ඡා අනාවරණය නොකිරීමටද පක්ෂය තීරණය කර ඇති බවයි පක්ෂ අභ්‍යන්තර අරංචි මාර්ග සඳහන් කළේ.

Share this