අරලියගහ මන්දිරය ඉදිරිපිටි මල් පෝච්චි ඉවත් කෙරේ

අරලියගහ මන්දිරය ඉදිරිපිට තාප්පයේ සැරසිල්ලක් ලෙස යොදා තිබුණු හතළිස් පන්දහසක් පමණ වන මල්පෝච්චි තොගය අද එම ස්ථානයෙන් ඉවත් කර දැමුණා.
ඉකුත් පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුව වෙනුවෙන් මෙම මල්පැල සැරසිල්ල සකස් කෙරුණේ රුපියල් ලක්ෂ 30ක පමණ මුදලක් වැය කරමින්. සාමාන්‍යයෙන් මාසයකට එහි තිබුණු මල්පැල තුන්දහසක් පමණ මියගිය බවයි අග‍්‍රාමාත්‍ය කාර්යාලය පැවසුවේ. එ්වා වෙනුවෙන් නව මල්පැල අඩංගු පෝච්චි තැන්පත් කිරීමට සිදු වූ බවත් නඩත්තු හා මාසික ජල බිල වෙනුවෙන් විශාල මුදලක් වැය කිරීමට සිදුවන බවත් එම කාර්යාලය සඳහන් කළා.
පසුගියදා මෙම මල්පැල පරීක්ෂා කළ පේරාදෙණිය උද්භිද උද්‍යානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා නිර්දේශ කර ඇත්තේ මල්පැල බේරා ගැනීම සඳහා පොච්චිවල පස් ඉවත් කර අලූත් පස් යොදවන ලෙසයි. එවැනි කටයුත්තක් සඳහා තවදුරටත් මහජන මුදල් නාස්ති කළ නොහැකි බැවින් එය සම්පූර්ණයෙන් ඉවත් කිරීමට තීරණය කළ බව අග‍්‍රාමාත්‍ය ලේකම් සමන් එ්කනායක මහතා සඳහන් කළා.




Share this