දුරකථන සමාගම්වලට පාඩුයි කියා වට්ස්ඇප් තහනම් කරයි

තරුණ තරුණියන් අදහස් හුවමාරු කර ගැනීමට හා ඇමතුම් ලබාගැනීමට මේවන විට බහුල ලෙස භාවිතා වන වට්ස්ඇප් ඇප් උපාංගය තහනම් කිරීමට නියෝග කර තිබෙනවා.

මෙම නියෝගය සිදුකර ඇත්තේ බ‍්‍රසීල අධිකරණයක් විසිනි.එම උපාංගය ආශ්‍රයෙන් සිදුකරන සියලු කටයුතු පැය 48කට තහනම් කිරීමට ඒ අනූව නියෝග කර ඇතැයි වාර්තා වනවා.මෙම තහනම එරට වෙලාවේන් ඊයේ (17) මධ්‍යම රාත‍්‍රියේ සිට ක‍්‍රියාත්මක බවයි පැවසෙන්නේ.

බ‍්‍රසීලයේ සාවෝ පවුලෝ නගරයේ විනිසුරුවරයෙකු මෙම තහනම් නියෝගය පනවා ඇති බවත්, එම ඉල්ලීම සිදුකළ පුද්ගලයා හෝ ආයතනය කුමක්දැයි හෙළි කර නැහැ.වට්ස්ඇප් ඇප් උපාංගය සීඝ‍්‍රයෙන් බ‍්‍රසීලය පුරා ප‍්‍රචලිත වීම නැවැත්වීමට එරට විදුලිසංදේශ සමාගම් උත්සාහ කර ඇති බව කියැවෙනවා.

ඔවුන් පවසා ඇත්තේ ඒ මගින් ලබාදී ඇති දුරකථන ඇමතුම් ගැනීමේ පහසුකම පාලනයක් නොමැති නීතිවිරෝධී සේවාවක් බවට පත්ව ඇති බවයි.
එමෙන්ම මේ නිසා ජනතාව දුරකථන සේවා පහසුකම් ලබාගැනීම අඩුවීමට එය හේතු වී ඇති බවද ඔවුන් පෙන්වාදෙනවා. බ්‍රසීලයේ මිලියන 100ට අධික පිරිසක් මෙම වට්ස්ඇප් ඇප් පහසුකම භාවිතා කරන බවද වාර්තා වනවා.

වට්ස්ඇප් නිසා බ්‍රසීලයේ දුරකථන සමාගම්වලට දැඩි ලෙස පාඩු සිදුව ඇතැයි කියැවෙනවා.

මේ අතර මෙම තීරණයට බ්‍රසීල ජනතාවගෙන් එල්ල වූ දැඩි විරෝධය හමුවේ පැය 48ක් යාමට මත්තෙන් එම තහනම ඉවත් කිරීමට ද තීරණය කර ඇතැයි වාර්තා වනවා.

Share this