වෙ‍ලේ සුදාගේ කුඩු ගජයා අත්අඩංගුවේ - අවුරුදු 15ක දැරියකුත් ළඟ තියාගෙන දූෂණය කරලා

මෙරට ප‍්‍රධානතම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස සැලකෙන ‘වෙලේ සුදා‘ නමැති විත්තිකරුගේ ප‍්‍රධානතම ගෝලයා (Main Dealer) වන සුරාස් අහමඞ් දින 7ක් රැඳවුම් නියෝග යටතේ රඳවා තබාගෙන ප‍්‍රශ්න කිරීමට කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් ගිහාන් පිලපිටිය මහතා රහස් පොලිසියට ඊයේ (02දා) අවසර ලබා දුන්නේය.
අදාළ සැකකරු හබරණ ප‍්‍රදේශයේ වාඩියක සැඟව සිටියදී රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඊයේ අධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණි. සැකකරු අදාළ වාඩියේ සැඟව සිටියේ අවුරුදු 15ක බාල වයස්කාර දැරියක් සමඟ බවත්, අදාළ දැරිය දූෂණයට ලක්වී තිබෙන බවත් රහස් පොලිසිය අධිකරණය වෙත දන්වා සිටියේය.

සමන්ත කුමාර හෙවත් වෙලේ සුදා විදේශ ගතව සිට එවන ලද හෙරොයින් පාර්සල්, බෙදාහරින ලද ප‍්‍රධාන සැකකරු දෙහිවල, රතනංකර පෙදෙස අංක 70හි පදිංචි සුරාස් අහමඩ් නමැත්තා බව පරීක්ෂණවලදී අනාවරණය වී ඇතැයි රහස් පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.
වෙලේ සුදා සම්බන්ධයෙන් සිදු කළ දීර්ඝ විමර්ශනයේදී සුරාස් අහමඞ් නමැති සැකකරු සම්බන්ධයෙන් අනාවරණය වූ බව දන්වා සිටි රහස් පොලිසියේ නිලධාරීන් වෙලේ සුදා මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමෙන් උපයා ගන්නා ලද මුදල් එකතු කිරීම, පරිහරණය කිරීම සුරාස් අහමඞ් සැකකරු විසින් සිදුකර ඇතැයි අධිකරණයට දන්වා සිටියේය.
මේ සැකකරුද මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදී සිටිමින් විශාල වශයෙන් දේපළ උපයාගෙන ඇති බවත් මෝටර් රථ සහ ධීවර බෝට්ටු ද ලබාගෙන ඇති බවත් පරීක්ෂණවලදී හෙළිදරවු වී ඇතැයි දන්වා සිටි රහස් පොලිසියේ නිලධාරීන්, සැකකරු දුරකතන අංක 05ක් භාවිත කර ඇතැයි ද අධිකරණයට දන්වා සිටියේය.

සැකකරු සන්තකයේ තිබූ ජංගම දුරකතනයක ලිංගික දර්ශන ඇතුළත් වීඩියෝ දර්ශන තිබූ බවත්, ඔහු අත්අඩංගුවට ගන්නා ලද අවස්ථාවේදී ඔහුත් සමඟ සිටි බාල වයස්කාර දැරියගේ දර්ශනද ඒ අතර තිබූ බවත් පොලිසිය දන්වා සිටියේය.

බාල වයස්කාර දැරියක් දූෂණය කිරීම සම්බන්ධයෙන් සැකකාර සුරාස් අහමඞ් නමැත්තාට එරෙහිව වෙනම නඩුවක් පවරන බව දන්වා සිටි රහස් පොලිසියේ නිලධාරීන්, දූෂණයට ලක්වූ දැරිය මේ වන විට රහස් පොලිසිය භාරයේ සිටින බව දන්වා සිටියේය.
සැකකරුට එරෙහිව මීට ඉහතදී කොටුව මහෙස්ත‍්‍රාත් අධිකරණය හමුවේ මත්ද්‍රව්‍යවලට අදාළ නඩුවක් තිබූ බවත් නීතිපතිවරයා ලබාදුන් උපදෙස් පරිදි එහිදී සැකකරු නිදහස් කර තිබූ බවත් පොලිසිය අධිකරණය වෙත දන්වා සිටියේය.
වෙලේ සුදා මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමෙන් උපයාගන්නා ලද මුදල්වලින් ලබාගත් ජීප් රථය සඟවාගෙන සිටියේ මේ සැකකරු විසින් බවත් වෙලේ සුදා විදේශගතව සිට එවන ලද මත්ද්‍රව්‍ය පාර්සල් බෙදාහැරීම සිදු කළ පුද්ගලයා මොහු බවත් රහස් පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.
සැකකරු විසින් ලබාගත් ධීවර යාත‍්‍රා 04ක් අන්සතු නොකරන ලෙසට නියෝගයක් නිකුත් කරන්නැයි රහස් පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම සලකා බැලූ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්වරයා, අදාළ ධීවර යාත‍්‍රා 04 විකිණීම, අන්සතු කිරීම තහනම් කරන ලෙසට ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට නියෝග කළේය.
වෙලේ සුදා නමැති විත්තිකරු මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙමින් විශාල ලෙස දේපළ උපයා ඇති බවට පොලිස්පතිවරයාගෙන් ලද පැමිණිල්ලක් මත රහස් පොලිසියේ මූල්‍ය විමර්ශන අංශය මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

Share this