තරුණ සේවා සභාවේ ලක්‍ෂ 750ක්‌ අතුරුදන් - තවත් මූල්‍ය අක්‍රමිකතා රැසක්‌

ජාතික තරුණ සේවා සභාවේ 2014 වසරේදී රුපියල් ලක්‍ෂ 750ක මුදලක්‌ අතුරුදන්වී ඇති බවත් මෙම මුදල්වලින් භාණ්‌ඩ ලබාගත් බවට බිල්පත් ඉදිරිපත් කර ඇතත් ලබාගත් භාණ්‌ඩයක්‌ නොමැති බවත් ජාතික තරුණ සේවා සභාවේ ඉතා විශ්වාසදායක ආරංචි මාර්ග සඳහන් කරයි.

එමෙන්ම ජාතික තරුණ සේවා සභාව සඳහා 2014 වසර සඳහා ඇස්‌තමේන්තු කර ඇති රුපියල් ලක්‍ෂ 6000ට අමතරව තවත් රුපියල් ලක්‍ෂ 1500ක ණය මුදලක්‌ ලබාගෙන ඇති අතර මෙම සියලු මුදල් වියදම් කළ ආකාරය පිළිබඳ විනිවිදභාවයක්‌ නොමැති බවත් මෙම මුදල්වලින් ජාතික තරුණ සේවා සභාව විසින් කළ යුතු අනිවාර්ය වැඩ කිසිවක්‌ කර නැති බවත් එම ආරංචි මාර්ග කියා සිටී.

එමෙන්ම ජාතික තරුණ සේවා සභාවේ වසර 10ක පමණ කාලයකින් අභ්‍යන්තර විගණනයක්‌ සිදු කර නොමැති බවද එම ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකා යූත් නමින් සඟරාවක්‌ ප්‍රකාශයට පත් කර ඇති බවත් එය ශ්‍රී ලංකා යූත් නාමය භාවිත කර වෙනත් ස්‌ථානයක මුද්‍රණය කර ඇති අතර ඒ සඳහා ලබාගත් දැන්වීම් හා එමගින් ලැබුණු ආදායමට සිදුවූ දෙයක්‌ නොමැති අතර තරුණ සේවා සභාවේ නම භාවිත කර පිටස්‌තර අය සඟරාවක්‌ මුද්‍රණය කිරීම නීති විරෝධී ක්‍රියාවක්‌ බවත් එම ආරංචි මාර්ග පැවසීය.

ජාතික තරුණ සේවා සභාව සිහිනය නමින් ආබාධිත අය සඳහා වැඩසටහනක්‌ පවත්වා ඇති අතර ඒ සඳහා වූ සියලු වියදම් පියවා ඇතත් එම වැඩසටහනින් ජයග්‍රහණය කළ ආබාධිත අයට මෙතෙක්‌ කිසිදු මුදලක්‌ ගෙවා නොමැති බවත් ඒ සඳහා මුදල් ලබා ගැනීමට ඔවුන් තවමත් ජාතික තරුණ සේවා සභාවට පැමිණෙන බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.

Share this