නෙදර්ලන්ත ජාතිකයා ලෝකාන්තයේදි යළි උපදී - බේරාගත් මෙහෙයුම(Photo & Video)

හෝර්ටන්තැන්න - ලෝකාන්තයෙන් පහළට වැටුණු විදේශිකයෙකු දැවැන්ත මෙහෙයුමකින් පසු නිරුපද්‍රිතව මුදා ගැනීමට ශ‍‍්‍රී ලංකා ගුවන් හමුදාව අද (21) සමත් වුණා. මුලින් වාර්තා වූයේ මෙම විදේශිකයා චීන ජාතිකයෙකු බවටයි. කෙසේ වෙතත්, පසුව ඔහු  ඕලන්ද ජාතිකයෙකු බව අනාවරණය වී තිබෙනවා. මෙම  ඕලන්ද ජාතිකයා සහ ඔහුගේ බිරිඳ අද (21) උදෑසන ලෝකාන්තය නැරඹීමට ගොස් ඇති අතර, එහිදී ඡායාරූපයක් ගැනීමට උත්සාහ කළ අවස්ථාවේදී එකවරම ඔහු ඉන් පහළට ඇද වැටී ඇති බව සඳහන්.

කෙසේ වෙතත්, ඔහු ලෝකාන්ත බෑවුමේ මීටර් 50 ක පමණ පහතට ඇදී ගොස් ගසක රැදී ඇති අතර පසුව ඔහු එම ගසේ එල්ලී සිටින අයුරු නිරීක්ෂණය කළ බවයි ගුවන් හමුදා මාධ්‍ය ප‍‍්‍රකාශක වින්ග් කමාන්ඩර් ජයන්ත සෙනෙවිරත්න ප‍‍්‍රකාශ කළේය.

ඒ අනුව ක්ෂණිකව ක්‍රියාත්මක වූ ගුවන් හමුදාව බෙල් 212 හෙලිකොප්ටර් යානයක් මෙම  ඕලන්ද ජාතිකයා මුදා ගැනීම සඳහා එම ස්ථානයට පිටත් කර යැවුවා. කෙසේ වෙතත්, අධික සුළග සහ පිහිටි ස්ථානය අනුව හෙලිකොප්ටර් යානය ඔහු රැඳී සිටි ගස අසලට රැගෙන යාම අවදානම් සහගත නිසා යළි දියතලාව ගුවන් හමුදා කඳවුරට ගොස් එම යානයෙන්ම ගුවන් හමුදා විශේෂ බලකායේ සහ යුද හමුදාවේ භට කණ්ඩායමක් එම ස්ථානයට රැගෙනවිත් තිබෙනවා. ගුවන් හමුදාවේ සහ යුද හමුදාවේ සෙබළුන් කඹයක් ආධාරයෙන්  ඕලන්ද ජාතිකයා සිටින ස්ථානයට ළගාවී ඔහු මුදාගත් බවයි හෝර්ටන්තැන්න නියෝජ්‍ය උද්‍යාන භාරකරු සමීර බණ්ඩාර කියා සිටියේ.

අනතුරුව නුවරඑළිය මහ රෝහලට ඇතුළත් කළ  ඕලන්ද ජාතිකයාගේ තත්ත්වය බරපතල නොවන බවයි රෝහල් අධ්‍යක්‍ෂ වෛද්‍ය අරුණ ජයසේකර සඳහන් කළේය. මේ වනවිට ඔහු ප‍‍්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගිය බවයි අධ්‍යක්‍ෂවරයා තවදුරටත් සඳහන් කළේය.

විවාහ වී දින 6 කට පසු මමිතෝ ලෙන්ඩස් නම් 35 හැවිරිදි  ඕලන්ද ජාතිකයා සහ ඔහුගේ බිරිඳ ශ‍‍්‍රී ලංකාවේ සංචාරයකට පැමිණ ඇති බවයි පොලීසිය සඳහන් කළේය.




ඕලන්ද/නෙදර්ලන්ත ජාතික යුවල

ගලවා ගැනීමේ මෙහෙයුමට සම්බන්ධ වූ හමුදා නිලධාරීන් පිරිස

ලෝකාන්තය පහළට බැස්ස හමුදා කෝප්‍රල් සුදේශ්

Share this