සිසුවියන් සිපගෙන චරිත ලක්ෂ පිරීක්සු විදුහල්පතිට වැඩවරදී

ගම්පොළ අධ්‍යාපන කලාපයට අයත් ගඟඉහළ කෝරලේ පිහිටි ප්‍රසිද්ධ පාසලක ශිෂ්‍යාවන්ගේ චරිතය පිරික්සීම සඳහා කාමරයකට රැගෙන ගොස් ඔවුන් සිප වැලඳගත් විදුහල්පතිවරයා ගම්පොළ කලාපයෙන් පිට කලාපයකට මාරු කර හැරීමට ගම්පොළ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ආනන්ද ප්‍රේමසිරි මහතා කටයුතු යොදා ඇත.

මේ පාසලේ විදුහල්පතිවරයා හා ඔහුගේ බිරියද සේවය කොට ඇති අතර ඇයද පාසලෙන් මාරුකර යැවීමට පියවර ගෙන ඇත. මේ විදුහල්පතිවරයා පාසලේ 8, 9 හා 11 වසර පන්තිවල ඉගෙනුම ලැබූ ශිෂ්‍යාවන් වරින් වර මේ කාමරයට රැගෙන ගොස් සිප වැලඳ ගෙන ඇත. එම ශිෂ්‍යාවන්ගෙන් සිවු දෙනකු පාසලේ හිතවත් ගුරුවරියන් හට මේ බව දැනුම් දීමෙන් පසු එම ගුරුවරු විසින් සිද්ධිය ගම්පොළ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයාට පැමිණිලි කොට ඇත.

කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා ඇතුළු කණ්ඩායමක් පාසලට පැමිණ පරීක්ෂණ පවත්වා ඇති අතර එහිදී විදුහල්පතිවරයා පවසා ඇත්තේ මේ ශිෂ්‍යාවන්ගේ චරිතය හොඳද නැතිද බලන්න එසේ සිදු කළ බවය. පාසලේ ශිෂ්‍යාවන්ගේ විනය හා චරිතය බැලීමට වෙනත් ක්‍රම තිබියදී කාමරයකට රැගෙන ගොස් පිරිමි අයකු මෙවැනි පහත් ක්‍රියාවක් සිදු කිරීම බරපතළ වරදක් බව එම කණ්ඩායම පවසා ඇත.

ඒ අනුව මේ විදුහල්පතිවරයා මෙසේ ගම්පොළ අධ්‍යාපන කලාපයෙන් පිට කලාපයකට මාරු කිරීමට පියවර ගෙන ඇත. ළමා අපචාර සම්බන්ධයෙන් නීති රීති දැඩිව හා ඒ වෙනුවෙන් අමාත්‍යවරුන් පවා සිටින අවස්ථාවක මේ සිද්ධිය සම්බන්ධයෙන් කුමන ක්‍රියාමාර්ගයක් ගත්තේද යන්න ගම්පොළ කුරුඳුවත්ත පොලිසියෙන් විමසූ අවස්ථාවේදී එහි ස්ථානාධිපතිවරයා පැවැසුවේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන තුරු පොලිසියට පැමිණිල්ලක් ලැබී නොමැති බවය.

Share this