ශ‍්‍රී ලනිපයෙන් මා පන්නා දැමීමට ඇතැමුන් උත්සාහ කරනවා ”‍

හවුලේ ආණ්ඩු පිහිටුවීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට අවශ්‍ය නෑ - හිටපු ජනපති

හොඳ ශ‍්‍රී ලංකාකාරයකු වන තමා පක්ෂයෙන් පන්නා දැමීමට ඇතැමුන් දැන් උත්සාහ කරන බවත් එක්සත් ජනතා නිදහස් සන්ධානය තුළ සිටින ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය එම සන්ධානය රැකගෙන ඉදිරියට ගෙන යා යුතු බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප‍්‍රකාශ කළේය. මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කෙළේ නාරාහේන්පිට අභයාරාමයේ දී ඊයේ (17) පැවැති කළුතර දිස්ත‍්‍රික් පළාත් පාලන ආයතන නියෝජිතයන්ගේ හමුවකට එක්වෙමිනි.

කථානායකවරයකු පත් කර ගැනීමට නොහැකිව මන්ත‍්‍රීවරුන් 56කට සීමා වී තිබුණු ශ‍්‍රී ලනිපය ශක්තිමත් කළේ තමා විසින් බවත් තාමට ඡන්දය දුන් ලක්ෂ 58ක ජනතාව වෙනුවෙන් තමා පෙනී සිටින බවත් රාජපක්ෂ මහතා පැවැසීය.

පක්ෂයේ සභාපති ධූරය භාර දීමට තීරණය කළේ පක්ෂය දෙකඩ වන සහ පාක්ෂිකයන්ට හිරිහැර වන නිසා බව පැවසූ රාජපක්ෂ මහතා පාක්ෂිකයන් සහ පක්ෂය රැකගැනීම නව සභාපතිවරයාගේ වගකීම බවත් කීවේය. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ හොඳ පාක්ෂිකයකු වන තමා රනිල් වික‍්‍රමසිංහ මහතා සමඟ එක් ව පක්ෂය දෙකඩ කිරීමට උත්සාහ කරන බවට මවා පෑමට ඇතැමුන් කටයුතු කරන බව පැවසූ රාජපක්ෂ මහතා එසේ උත්සාහ කරන්නේ තුන් හතර වතාව එහා මෙහා පැන්න අයම බවත් පැවැසීය.

එක්සත් ජාතික පක්ෂය සමඟ හවුලේ ආණ්ඩු පිහිටුවීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට අවශ්‍යතාවක් නොමැති බවත් පැය දෙකක් ඉවසා සිටීමට නොහැකි වූ ඇතැම් ඇමැතිවරුන් නොවන්නට තවමත් තිබෙන්නේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් බවත් ප‍්‍රකාශ කෙළේය. උපක‍්‍රමශීලීව හෝ නැවත වරක් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපතිවරයකු පත් වීම සම්බන්ධයෙන් තමා සතුටු වන අතරම තමා ඔහුට සුබපතන බවත් රාජපක්ෂ මහතා ප‍්‍රකාශ කළේය.

දේශපාලන පක්ෂයකට ජනතාවගෙන් ඈත් වී, ජනතා මතයට කන් නොදී සිටීමට පුළුවන්කමක් නොමැති බව පැවසූ රාජපක්ෂ මහතා එසේ වූ දාට පක්ෂය විනාශ වී යන බවත් පැවැසීය.

අද විපක්ෂය ආණ්ඩුවේ අයවැය ඇතුළු සෑම දෙයකටම සහය දෙන තත්ත්වයක් නිර්මාණය වී ඇති බව පෙන්වා දුන් රාජපක්ෂ මහතා ආණ්ඩුව කරන හැම පාපයකටම වගකීමට අද ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට සිදුව ඇති බව ප‍්‍රකාශ කළේය.

කළුතර දිස්ත‍්‍රික්කයේ පළාත් සභා සහ පළාත් පාලන ආයතන මන්ත‍්‍රීවරුන් පිරිසක් ද මේ අවස්ථාවට එක් ව සිටියහ.







Share this