ලෝක කුසලාන ක‍්‍රිකට් ප‍්‍රථම අර්ධ අවසන් පූර්ව වටය අද සිඩ්නිහි දී

සිඩ්නි ක‍්‍රීඩාංගණය අපිට ගෙදර වගෙයි - මැතිව්ස්‌ 

පීඩනයෙදි අපි පලා යන්නේ නැහැ - ඩිවිලියර්ස්‌

ලෝක කුසලාන ක‍්‍රිකට්‌ තරගාවලියේ පරාජිතයන් ගෙදර යවන වටය අරඹමින් ශ‍්‍රී ලංකාව සහ දකුණු අප‍්‍රිකාව අද (18 දා) පළමු අර්ධ අවසන් පූර්ව තරගයට සහභාගි වේ. සිඩ්නි ක‍්‍රීඩාංගණයේදි දිවා රාත‍්‍රි තරගයක්‌ ලෙසින් පැවැත්වෙන මෙය ශ‍්‍රී ලංකා වේලාවෙන් පෙ.ව. 9 ට ආරම්භ වනු ඇත.

ශ‍්‍රී ලංකා නායකයා මහේලට සහ සංගක්‌කාරට ලොකු ත්‍යාගයක්‌ ලබාදිමේ සිහිනයකින් පසුවන බව ඊයේ පැවැති මාධ්‍ය හමුවේදි පැවැසීය. ”‍අපිට සිඞ්නි ක‍්‍රීඩාංගණයේ ක‍්‍රීඩා කරනකොට දැනෙන්නෙ ශ‍්‍රී ලංකාවේ ක‍්‍රීඩා කරනව වගේ. ඇත්තටම මෙහිදි අපිට ලොකු පේ‍්‍රක්‍ෂක ප‍්‍රතිචාරයක්‌ දැනෙනවා.

මේ තරගය ජය ගන්න අපිට ඒකත් ලොකු වාසියක්‌. ඒ වගේම මහේලට සහ සංගක්‌කාර ලොකු සමුගැනීමේ ත්‍යාගයක්‌ ලබා දෙන්න අපි සූදානමින් ඉන්නෙ. ඒ මේ තරගයත් ජය ගෙන තවත් තරග දෙකක්‌ ජයගනිමින් ඔවුන්ගේ සමුගැනීම ලෝක කුසලාන ජයග‍්‍රහණයකින් සමරන්න අපි ආශාවෙන් බලා ඉන්නවා.”‍

කුමාර් සංගක්‌කාර සහ මහේල ජයවර්ධන තවත් තරග දෙකක්‌ ක‍්‍රීඩා කරමින් සිය ජාත්‍යන්තර එක්‌දින ක‍්‍රිකට්‌ පිටියේ සමාප්තිය සනිටුහන් කිරීමේ දැඩි  ඕනෑකමකින් පුහුණුවීම්වල නිරත වීම දකුණු අප‍්‍රිකානු පන්දු යවන්නන්ට නම් අසුබ පෙරනිමිත්තකි. කුමාර් සංගක්‌කාර මෙවර තරගාවලියේ පිට පිටම ශතක හතරක්‌ ලබා ගනිමින් උපරිමයට පැමිණ තිබේ.

ලෝක කුසලාන අවසන් පූර්ව තරග ඉතිහාසය ගෙන බැලීමේදි හොඳම පිතිකරු සාමාන්‍යක්‌ වාර්තා කිරීමට සමත්ව ඇත්තේ මහේල ජයවර්ධනය. ඔහු ලෝක කුසලාන අවසන් වටයේදි සහභාගි වූ තරගවලදි ලකුණු 80 කට වැඩි සාමාන්‍යක්‌ රඳවා ගෙන තිබේ. මහේල සහ සංගක්‌කාර තරම් පීඩනය සතුටු සිතින් භාර ගන්නා තවත් පිතිකරු යුගලක්‌ ලොව වෙනත් කණ්‌ඩායමක නොමැති බව දකුණු අප‍්‍රිකානුවන්ද හොඳින් වටහාගෙන තිබේ. ”‍සංගක්‌කාර සහ මහේලගේ කඩුලූ‍ ඉක්‌මනින් දවා ගැනීම ජයග‍්‍රහණයට තීරණාත්මකයි. ඔවුන් හැම විටම ශ‍්‍රී ලංකාව ජයග‍්‍රහණය කරා ඇදගෙන යනවා”‍ යනුවෙන් ඩිවිලියර්ස්‌ද පවසයි.

සිඩ්නි තණතීරුවේදි කාසියේ වාසිය කුමක්‌ වුවත් ජයග‍්‍රහණයට එය කිසිදු බලපෑමක්‌ නොවන බව මැතිව්ස්‌ගේ මතය වී තිබේ. ”‍මේ තණතීරුවේ කාසියේ වාසිය කුමක්‌ වුවත් ජයග‍්‍රහණයට ඒක බලපාන්නෙ නැහැ. ලකුණු 300 කට වැඩි ගාණක්‌ වුණත් පස්‌සෙන් ගිහිල්ල එලවන්න පුලූ‍වන් තණතීරුවක්‌ තියෙන්නෙ”‍. මැතිව්ස්‌ සුබවාදි අදහස්‌ පවසද්දි පීඩනයේදි හැම විටම පරාජය වැළඳ ගන්නා කණ්‌ඩායමක්‌ වශයෙන් දකුණු අප‍්‍රිකාව මේ සටනට කෙසේ මුහුණ දෙන්නේද යන්න ඩිවිලියර්ස්‌ගෙන් විමසන ලදුව, ”‍අපි පීඩනයේදි අසාර්ථකයි කියල එකක්‌ නැහැ. දවස හොඳින් ක‍්‍රීඩා කිරීම තමයි වැදගත් වන්නේ. මේකත් එක්‌ තරගයක්‌ විතරයි”‍ යනුවෙන් පැවසීය.

ශ‍්‍රී ලංකාවේ මහත් බලාපොරොත්තු තබා සිටින රංගන හේරත්ගේ තත්ත්වය පිළිබඳව අදහස්‌ දැක්‌වූ මැතිව්ස්‌, ”‍රංගනට ක‍්‍රීඩා කරන්න පුලූ‍වන්ද නැද්ද කියල 50% ක තත්ත්වයක්‌ තියෙන්නෙ. කොහොම වුණත් අපිට හොඳ පන්දු යවන්නන් ඉන්නවා. විශේෂයෙන් චමීර දුෂ්මන් පැයට කිලෝ මීටර 147 ක පමණ වේගයෙන් පන්දු යවනවා. ඔහුටත් අවස්‌ථාවක්‌ තියෙයි”‍ යනුවෙන් පැවසීය. කෙසේ වෙතත් රංගන ක‍්‍රීඩා නොකිරීමේ වැඩි අවස්‌ථාවක්‌ ඇති බව පැහැදිලිව පෙනෙන බැවින් සීකුගේ හෝ සචිත‍්‍ර අද දග පන්දු යවන්නාගේ කර්තව්‍ය ඉටු කිරීමට සැදි පැහැදී සිටියි.

දකුණු අප‍්‍රිකානුවන් හැම විටම ඒබී ඩිවිලියර්ස්‌ සහ හසීම් අම්ලාගේ පිති ප‍්‍රහාරයෙන් ජවය ලැබීමට සූදානමින් සිටියි. මෑත කාලයේදි ඩිවිලියර්ස්‌ ඉතාමත් වේගයෙන් ලකුණු මැෂිම කරකැවීමට රුචිකත්වයක්‌ දැක්‌වුවද ලසිත් මාලිංගගේ දෙදරා යන යෝකර් පන්දුව ඔහුගේ ඉනි බිම දැමීමේ ප‍්‍රධාන අවියකි. එබැවින් දකුණු අප‍්‍රිකානු නායකයා පවසන්නේ, ”‍මාලිංගගේ පන්දුවලට අපි මුහුණ දීල තියෙනවා. අපි දන්නවා ඔහු මොනවද කරන්නෙ කියලා. ඒ නිසා කොහොමත් සැලසුමක්‌ ඇතිව අපි තරග කිරීමට සූදානම්”‍ යනුවෙනි. ශ‍්‍රී ලංකා නායකයාද වැඩිම උපක‍්‍රමය ඩිවිලියර්ස්‌ දවා ගැනීම වෙනුවෙන් යොදා තිබෙන බවද පැවසීය. ”‍ඩිවිලියර්ස්‌  ඕනෑම කණ්‌ඩායමකට අභියෝගයක්‌. ඔහුව ඉක්‌මනින් දවා ගැනීමට තමයි අපි සැලසුම් කරල තියෙන්නෙ.”‍

සිඩ්නි ක‍්‍රීඩාංගණයේ කාසියේ වාසිය කුමක්‌ වුවත් පිතිකරුවන්ට නිදහසේ ලකුණු ලබා ගැනීමේ තණතීරුවක්‌ සකසා තිබෙන බවනම් පැහැදිව දිස්‌විය. තණකොළ රහිත මෙම තණතීරුවේදි පළමුව පන්දුවට පහදීම කණ්‌ඩායම් දෙකේ නායකයන්ගේ සිහිනයක්‌ වන්නේ නැවුම් බවකින් ඇති හැටියට ලකුණු මැෂිම ඉහළ දමමින් ප‍්‍රතිවාදින්ව කායිකව සහ මානසිකව ඇද දැමීමටය. පැයට කිලෝ මීටර් 150 කට ආසන්න වේගයකින් පන්දු යවන ඬේල් ස්‌ටේන් ප‍්‍රමුඛ දකුණු අප‍්‍රිකානු වේග පන්දු යවන්නන්ගේ ප‍්‍රධාන අවිය බවුන්සර් පන්දුව විය හැකිය. කෙසේ වෙතත් අද උදෑසන සුලූ‍ වැසි සහිත තත්ත්වයක්‌ සිඞ්නි ක‍්‍රීඩාංගණයට ඇද හැලීමට නියමිත බව කාලගුණ වාර්තාවල සඳහන් වේ. එය තරගය පැවැත්වෙන වේලාවට පෙර සිදුවන බවත් තරගයට එයින් බලපෑමක්‌ නොවන බවත් සඳහන් වේ.

වත්මන් ජාත්‍යන්තර එක්‌දින ශේණියේ ශ‍්‍රී ලංකාවට වඩා පියවරක්‌ ඉදිරියෙන් දකුණු අප‍්‍රිකාව පසු වුවද දෙරට මුණ ගැසුන අවස්‌ථා 59 න් වැඩි ජයග‍්‍රහණය ශ‍්‍රී ලංකාව සතුව තිබේ. එහිදි ශ‍්‍රී ලංකාව තරග 29 ක්‌ ජය ගන්නා අතරවාරයේ දකුණු අප‍්‍රිකාව තරග 28 ක්‌ ජය ගෙන තිබේ. එක්‌ තරගයක දෙපිලම සම ලකුණු ලබා ගැනීමට සමත්ව ඇති අතර තවත් තරගයක්‌ විසඳුමකින් තොරව නිමා වී තිබේ.

අතීත දක්‍ෂතා කෙසේ උස්‌ පහත් වුවද අද පිටියට පිවිසෙන දෙපිලේ වැඩිම ජ්‍යෙෂ්ට ක‍්‍රීඩකයන්ගේ එකතුව ශ‍්‍රී ලංකාව සතුව සිටීම දකුණු අප‍්‍රිකානුවන්ට හිස කකියන තරම් වේදනාවක්‌ ගෙන දෙන කරුණක්‌ වනු ඇත. සමස්‌ත ශ‍්‍රී ලංකා සංචිතයේ ක‍්‍රීඩකයන් 15 දෙනා එකතුව ක‍්‍රීඩා කර ඇති එක්‌දින සංඛ්‍යාව 2260 කි. එහිදි මහේල, සංගක්‌කාර සහ ඩිල්ෂාන් ක‍්‍රීඩා කර ඇති තරග සංඛ්‍යාව පමණක්‌ දහසකට වැඩිය. එහෙත් සමස්‌ත දකුණු අප‍්‍රිකානු සංචිතයම ක‍්‍රීඩා කර ඇත්තේ එක්‌දින තරග 998 කට පමණි. ඒ අනූව පීඩනය නැමැති පර්වතය තරණය කිරීමේ හොඳම තුරුම්පු ශ‍්‍රී ලංකාව සතුව සිටින බවට දකුණු අප‍්‍රිකානුවන්ටද පැකිලීමකින් තොරව පිළිගැනීමට සිදුව තිබේ.

ක‍්‍රීඩා කිරීමට අපේක්‍ෂිත ශ‍්‍රී ලංකා කණ්‌ඩායම - ළහිරු තිරිමාන්න, තිලකරත්න ඩිල්ෂාන්, කුමාර් සංගක්‌කාර, මහේල ජයවර්ධන, කුසල් පෙරේරා, ඇන්ජලෝ මැතිව්ස්‌(නායක*, තිසර පෙරේරා, සචිත‍්‍ර සේනානායක හෝ රංගන හේරත්, නුවන් කුලසේකර, ලසිත් මාලිංග, දුෂ්මන්ත චමීර

දකුණු අප‍්‍රිකානු කණ්‌ඩායම - හෂීම් අම්ලා, ක්‌යින්ටන් ද කොක්‌, ¥ ප්ලෙසිස්‌, ඒබී, ඩිවිලියර්ස්‌, ෙඡ්.පී. ඩුමනි, ඬේවිඞ් මිලර්, රිලී රුසොව්, වර්නන් පිලැන්ඩර්, මෝර්න් මෝර්කල්, ඬේල් ස්‌ටේන්, ඉම්රාන් තහීර්.

Share this