අසභ්‍ය වැඩ කරන්න තරම් මම පහතට වැටිලා නෑ...

"මට මඩ ගහන්නේම විකෘත්ති ආශාවන් තියෙන මිනිස්සු..." - පියුමි කටකතා ගැන කියයි

යොවුන් වියේදීම මෝස්තර නිරූපණ ශිල්පයට යොමු වූ පියුමි හංසමාලි නිරූපණය හරහා තරග කිහිපයකින්ම. විවිධ ජයග්‍රහණයන් ලබා අද වන විට ක්‍ෂේත්‍රයේ කාර්යබහුල නිරූපණ ශිල්පිනියක වී සිටියි. ඒ අතරතුර ''රිතු'' ටෙලි නාට්‍යය තුළින් රංගනයටත් සතියේ දිනවල සවස හයට ස්වර්ණවාහිනිය ඔස්සේ විකාශය වන ''මියුසික්'' සංගීත වැඩසටහන තුළින් රූපවාහිනී නිවේදනයටත් යොමු වූ පියුමි වඩාත් කතා බහට ලක්වන චරිතයක් බවට පත් විය. මෙවර අප පියුමිගේ කලා ජීවිතයේ තොරතුරු සේම සාමාන්‍ය ජීවිතය ගැන ද තොරතුරු රැසක් සටහනට එක්කර ගත්තා.

"මම මෝස්තර නිරූපණ ක්‍ෂේත්‍රය තුළ ගොඩක් කාර්යබහුලයි. සුපුරුදු විදියට ස්වර්ණවාහිනියේ මගේ වැඩසටහන කරගෙන යනවා. ඒ අතර අලුත් ටෙලි නාට්‍ය කීපයකට ආරාධනා ලැබුණා. ඒවා ගැන නම් තවම තීරණයක් අරගෙන නැහැ....

මම රඟපෑ රිතු ටෙලි නාට්‍යය අතරමග නතර වුණේ දේශපාලන හේතු මත බවට රාවයක් පැතිර ගියා... නමුත් මම කළේ නාට්‍යයේ රඟපාන එක විතරයි. එතැනින් එහා ඒ ගැන මම දන්නේ නැහැ... හොයන්න ගියෙත් නැහැ...

මුලින්ම අපට කියල තිබුණෙත් රිතු කොටස් පනහක් කරන්න කියලා. ඒ කොටස් පනහ කළා. ඒ කොටස් විකාශය වුණා. කවර හෝ හේතුවක් මත එතැනින් ඒ ටෙලි නාට්‍යය නැවතුණු නමුත් රිතු නිසා මට විශාල ජනතා ප්‍රසාදයක් ලැබුණා.

මම මෝස්තර නිරූපණ ශිල්පිනියක විදියට 2010 ඉඳන් රැඳී සිටිනවා. ඒ තුළින් නිරූපණ ක්‍ෂේත්‍රයේ නමක් ගොඩනැගුණත් සාමාන්‍ය ජනතාව අතර විශාල ජනප්‍රියත්වයක් ලැබුණේ රිතු හින්දා... ටෙලි නාට්‍යය විකාශය වන කාලෙදී පාරේ තොටේදීත් මිනිස්සු මට කතා කළේ රිතු කියලා. රිතු ටෙලි නාට්‍යය දිගටම විකාශය නොවුණත් රිතූට සම්බන්ධ වීමට ලැබිම සතුටක්, රිතූ ටෙලි නාට්‍යයට මාව සම්බන්ධ කරගත් ශාන්ත අයියට (ශාන්ත සොයිසා) මම ස්තුතිවන්ත වෙනවා.

මගේ ප්‍රධානතම ක්‍ෂේත්‍රය මෝස්තර නිරූපණ ශිල්පය. ටෙලි නාට්‍ය සඳහා කාලය වෙන් කළාම නිරූපණ ශිල්පයට බාධා ඇති වෙන අවස්ථාත් තියෙනවා. ඒ වුණත් මම කැමතියි කාලය කළමනාකරණය කරගෙන රඟපාන්න. මේ වන විට ආරාධනා කීපයක්ම ලැබිලා තියෙනවා. ඒ අතුරින් යම් නිර්මාණ තෝරාගෙන ඉදිරියේදී රඟපාන්න හිතාගෙන ඉන්නවා. අලුත් නිර්මාණයකට දායක වූ දවසට ඒ ගැන කියන්නම්.

ස්වර්ණවාහිනියේ සතියේ දවස් පහේම හවස හයට විකාශය වන මියුසික් වැඩසටහන ඉදිරිපත් කරනවා. පහුගිය දවස්වල මම ඒ වැඩසටහනින් ඉවත් කළ බවට රාවයක් පැතිර ගියා... නමුත් ඒ කතාව බොරුක්. තවමත් මම ඒ වැඩසටහන කරනවා. 

මම අසභ්‍ය ඉංග්‍රීසි වදනක් සහිත ඇඳුමක් ඇඳගෙන වැඩසටහන ඉදිරිපත් කිරීම නිසා ඔබව වැඩසටහනින් ඉවත් කළ බවට පුවත් ඵල වී තිබුණා. නමුත් ඒක සම්පූර්ණ බොරු කතාවක්. මට මඩ ගහන්න ගොතපු එකක්... හැබැයි ඉතින් ඔය වගේ මඩ ප්‍රහාරවලින් නම් මම සැලෙන්නේ නෑ...
එදා මම ඇඳන් හිටි ටී ෂර්ට් එකේ ඉංග්‍රීසි වදනක් තිබුණා. ඒත් ඒකෙ අසභ්‍ය වචනයක් එහි තිබුණේ නැහැ.... යම් වචනයක් තුළින් වැරදි අදහසක් මවාගන්න කෙනෙකුට පුළුවනි. එතැනදී වරද තියෙන්නෙ බලන කෙනාගේ ඇස්වල.

නිළියක්, නිවේදිකාවක්, නිරූපණ ශිල්පිනියක් විදියට මම ඇඳුම් ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙනවා. සජීවී රූපවාහිනී වැඩසටහනකට අසභ්‍ය වදන් සහිත ටී ෂර්ට් එකක් අඳින්න තරම් පහත් මට්ටමක මම නැහැ... මම අසභ්‍ය වදනක් සහිත ටී ෂර්ට් එකක් ඇඳගෙන වැඩසටහනක් කළා නම්, මාව ආයේ කවමදාකවත් එම නාලිකාවට සම්බන්ධ කරගන්න එකක් නැහැ.

ඔය සිදුවීම වූ දිනයේ අදාළ වැඩසටහන අතරමග නතර කළා... නමුත් සිකුරාදා දවසට වැඩසටහන ඒ විදියට වැඩසටහන නතර කරනවා. ඒක සාමාන්‍ය දෙයක්. නමුත් සමහරුන් ඒක දැකලා තියෙන්නේ වැඩසටහන අතරමග නතර කිරීමක් විදිහට.

කටකතා හදන්න මඩ ගහන්නම සූදානමින් ඉන්න අය නැති සිදුවීමක් මවල හෝ මේ විදියේ ප්‍රවෘත්ති නිර්මාණය කරනවා. අනුන්ට මඩ ගහලා විකෘති සතුටක් විඳින අයත් අපි අතරේ ඉන්නවනේ.

ඔය වගේ මඩ ප්‍රහාරවලින් මම සැලෙන්නේ නෑ කියලා. මේ කටකතාව පැතිරෙන්න කලින් මම හවස හයට ස්වර්ණවාහිනියේ වැඩසටහනක් කරනවා කියලා දැනගෙන හිටියේ නැති මගේ සමහර රසිකයෝ, ඒක දැනගත්තෙත් මේ කටකතාව පැතිරුණාට පස්සේ... ඒ අය මගෙ එෆ්. බි. එකේ ඒක සඳහන් කරල තිබුණා. ඉතින් මේ කටකතාව පැතිරයාමෙන් එක පැත්තකින් මට ඇතිවුණේ යහපතක්.

මගේ ගම රාජගිරිය. මම අධ්‍යාපනය ලැබුවේ ශ්‍රී සෝභිත විදුහලින්. මම උසස් පෙළ නිමා කරපු හැටියෙම තමයි නිරූපණ ශිල්පයට යොමු වුණේ. ඒ 2010 දී... මට පුංචි පුතෙක් ඉන්නවා. එයා කාවිංග. නිරූපණ ශිල්පය. නිවේදනය සහ රංගනය තුළින් ඉදිරියට යාම තමයි මගේ බලා‍පොරොත්තුව."

Share this