ඡන්දෙට කලින් ව්‍යවස්ථා සංශෝධනය ඕනෑ

තුනෙන් දෙකේ ඡන්ද බලය වර්තමාන පාර්ලිමේන්තුවේ තිබෙන නිසා ව්‍යවස්ථා සංශෝධනය හා මැතිවරණ ක්‍රමයේ වෙනසක් සිදු කිරීම පාර්ලිමේන්තුව විසුරුවන්නට පෙර සිදු කළ යුතු බව ‘පිවිතුරු හෙටක්’ ජාතික සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ පවසති.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වර්තමාන සභාපතිවරයා වන්නේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා බවත්, පාර්ලිමේන්තුවේ විපක්ෂය වුවද බහුතරය පවතින්නේ එම පක්ෂයට බවත් උන්වහන්සේ පෙන්වා දෙති.

ජනාධිපතිවරණයේදී මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණයට උරදී ක්‍රියා කළ එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂය වී රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස බලයට පත් වී අද කටයුතු කරන බවත්, ප්‍රධාන පක්ෂ දෙක පාර්ලිමේන්තුවේ මෙලෙස කටයුතු කරගෙන යද්දී විධායක ජනාධිපති ක්‍රමයේ බලතල අඩු කිරීම මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමත්, 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය බලගැන්වීම මේ අවස්ථාවේ සිදු කරගැනීමටත් ජනාධිපතිවරයාට හැකියාව තිබෙන බවත්, දින සියයේ වැඩ සටහනට සහාය දීමේ පොරොන්දුව තුළ වර්තමාන පාර්ලිමේන්තුවෙන්ම මේ දේ සිදුකළ යුතු බවත් අතුරලියේ රතන හිමියෝ පවසති.

Share this