පළාත් සභා තුනක මහ පුටු පෙරළෙන ලකුණු

ඉදිරි සති දෙක තුළ පළාත් සභා තුනක මහ පුටුවල වෙනසක් වීමට නිශ්චිත බව වාර්තා වෙයි. උතුරුමැද, නැ‍ඟෙනහිර හා මධ්‍යම ඒ පළාත් වේ.

නැ‍ඟෙනහිර පළාත් සභාවේ මහ ඇමැති ධුරය මේ වන විට දෙවරක් වෙනස් වී තිබේ. එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ ශ්‍රීලනිපය නියෝජනය කරමින් නැ‍ඟෙනහිර පළාත් සභාවේ මහ ඇමැති ලෙස අබ්දුල් මජිඩ් මහතා පත් වූ අතර පසුව පසුගිය පෙබරවාරි 06 වැනිදා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ උපනායක නසීර් අහමඩ් නැ‍ඟෙනහිර පළාත් සභාවේ මහ ඇමැතිවරයා ලෙස පත් විය.

එහෙත් පසුගිය සතියේ නව මහ ඇමැතිවරයාට සහයෝගය දැක්වූ එජනිස පළාත් සභා මන්ත්‍රීවරුන් පස් දෙනකු සහ ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රීවරයා සිය සහයෝගය ඉවත් කරගන්නා බව දිවුරුම් ප්‍රකාශ මඟින් ආණ්ඩුකාරවරයාට දැනුම් දී තිබිණි. ඒ සමඟින් පළාත් සභාවේ මහ ඇමැතිවරයාට තිබිය යුතු මන්ත්‍රීවරුන් 19ක බහුතර බලය අහිමි වී ගිය අතර නව මහ ඇමැතිවරයාට පළාත් සභාවේ හිමිව ඇති බහුතර කැමැත්ත මන්ත්‍රීවරුන් 14 දක්වා අඩු වී තිබේ.

මේ අනුව ඉදිරි සති දෙකක කාලය තුළ නැ‍ඟෙනහිර පළාත් සභාව සඳහා නව මහ ඇමැතිවරයකු පත් කිරීමට නියමිතය. නැ‍ඟෙනහිර නව මහ ඇමැතිවරයා ලෙස දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරයකු පත්වීමේ වැඩි ඉඩකඩක් පවතින බව ද වාර්තා වෙයි. මේ අතරතුර මධ්‍යම පළාත් සභාවේ නව මහ ඇමැතිවරයා ලෙස ඉදිරි සති දෙකක කාලයේදී මහනුවර දිසාවෙන් පසුගිය පළාත් සභා මැතිවරණයේ වැඩිම මනාප ලබාගත් තිළිණ බණ්ඩාර තෙන්නකෝන් මහතා පත් කිරීමට නියමිතය.

ඔහුට සහාය පළ කරමින් පසුගිය සතියේ ආණ්ඩුකාරවරයාට මධ්‍යම පළාත් සභාවේ මන්ත්‍රීවරුන් තිස්දෙදෙනෙක් දිවුරුම් ප්‍රකාශ ලබා දී තිබිණි. ඒ අනුව නව පත් කිරීම සිදු කිරීම ස්ථිර බව ද වාර්තා වෙයි.

ජනවාරි මාසයේදී උතුරුමැද පළාත් සභාවේ මහ ඇමැති ධුරයේ ද වෙනසක් සිදු වූ අතර නව මහ ඇමැති පේෂල ජයරත්න මහතා ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වීමට බලාපොරොත්තු වන බැවින් හෙතෙම මහ ඇමැති ධුරයෙන් ඉදිරියේදී ඉල්ලා අස්වීමට නියමිතව ඇතැයි වාර්තා වෙයි. ඒ අනුව උතුරුමැද පළාත් සභාවේ නව මන්ත්‍රීවරයකු මහ ඇමැති ධුරයේ දිවුරුම් දෙනු ඇත. නව මහ ඇමැතිවරයා ලෙස හිටපු මහ ඇමැති එස්. එම්. රංජිත් මහතා පත්වීමට වැඩි ඉඩකඩක් පවතින බව ද වාර්තා වෙයි.

Share this