ඇමෙරිකානු ප්‍රාන්තයකදී ඇගට හිර ඇඳුම් ඇදීම තහනම් කරමින් පනතක්

සිරුරේ අග පසග කැපී පෙනෙන ඇඳුම් ඇඳීම වැළැක්වීම සඳහා ඇමරිකාවේ මොන්ටානා ප‍්‍රාන්තය තුළ පණත් කෙටුම්පතක් ඉදිරිපත් කර ඇතැයි වාර්තා වේ.

පසුගිය අගෝස්තු මසදී නිරුවත් පාපැදි ධාවනයක් දුටු පසුව රිපබ්ලිකන් පක්‍ෂ සභික ඬේවිඞ් මුවර් විසින් මෙම පණත් කෙටුම්පත ඉදිරිපත් කර ඇතැයි පැවසේ.

මොන්ටානා ප‍්‍රාන්තයේ පවතින නීතිය අනුව යම් කිසි පුද්ගලයකු අපචාරය, අවඥාව, පීඩාව හෝ නිගරු කිරීමේ අරමුණින් දැනුවත්ව හෝ අරමුණු සහගතව හෝ අනෙකෙකු ලිංගික හැගීම් උද්දීපනය හෝ සතුටු කිරීම සඳහා ඔහුගේ හෝ ඇයගේ ලිංගේන්ද්‍රියන් ප‍්‍රදර්ශනය කරන්නේ නම් එය අවිනීත විදහා පෑමක් ලෙස තහනම් කර තිබේ.

කෙසේවෙතත් මෙම නීති දැඩි කිරීමේ අරමුණින් මුවර් විසින් කෙටුම්පත් කර ඇති අංක 365 දරන පණත අනුව පුද්ගලයෙකු සිය පුද්ගලික අංග හෝ ප‍්‍රසිද්ධ ස්ථානවල ඒවා උද්දීපනය කර පෙන්වන ඇඳුම් ඇඳීම පවා තහනම් කිරිමට යෝජනා කර තිබේ.

විචාරකයින් පවසා ඇත්තේ මෙමගින් යෝගා කලිසම් පවා තහනම් කිරීමට සිදුවනු ඇති බවයි.

කාන්තාවන්ගේ සිරුර ආවරණය කරන ඉස්ලාමික ඇඳුම් විවේචනය කරන බටහිර දේශපාලඥයින් විසින් මෙවැනි යෝජනා ඉදිරිපත් කිරීම හාස්‍යජනක බව වොෂින්ටන් පෝස්ට් පුවත්පත් ලේඛිකා ඇලෙක්සැන්ඩ‍්‍රා පෙටි‍්‍ර පවසා තිබේ.

මේ පණත් කෙටුම්පත පිළිබඳ සලකා බැලූ කොංග‍්‍රස් අධිකරණ කමිටුව විසින් එය නිෂ්ප‍්‍රභා කිරීමට ඒකමතිකව තීරණය කර ඇතැයි වාර්තා වේ.


Share this