සෝනම්ගේ දියමන්ති මාලයක් ගැන පොලිසියට සැකයක්

රුපියල් කෝටි ගණනින් මුදල් අතපත ගාන නිසා දෝ බොලිවුඩ් නළු නිළියන්ට තම තමන්ගේ රත්තරන් බඩු ගැන වැඩි නිනව්වක් නැති පාටයි‍. පසුගිය මාස කිහිපය තුළ මේ අයගේ වටිනා රන් ආභරණ නැතිවූ බව වරින් වර අ‍හන්න ලැබුණේ ඒ නිසා වෙන්න ඇති. මේ ළඟදී සෝනම් කපූර්ගේ වටිනා දියමන්ති මාලයක් නැතිවෙලා. ඇය කියන්නේ මෑතකදී පැවති එක්තරා සාදයකට සහභාගි වී නිවසට පැමිණියාට පසුව මාලය නැතිවූ බවයි. “මමයි, අම්මයි පාටි එකකට ගිහින් ආපහු ගෙදර එනකොට පාන්දර 2 ට විතර ඇති. ඒ වෙලාවේ දියමන්ති මාලෙ තිබුණා. මම ඒක ගලවලා මගේ අල්මාරියේ ලාච්චුවේ දැම්මා. පහුවදා බලන කොට ඒක තිබුණේ නැහැ” සෝනම් එලෙස පවසා සිටියා‍.

ඇය මේ පිළිබඳ පොලිසියට පැමිණිලි කර තිබෙනවා. එහි ඇය සඳහන් කර ඇත්තේ නැතිවූ මාලයේ වටිනාකම ඉන්දීය රුපියල් ලක්ෂ 5 ක් පමණ වන බවයි. පැමිණිල්ලෙන් පසුව ක්‍රියාත්මක වූ පොලිසිය, සෝනම් ගේ නිවසෙහි වෙසෙන සේවකයකුගෙන් ප්‍රශ්න කර තිබෙනවා. ඊට අමතරව, සැක කටයුතු පිටස්තර පුද්ගලයෙකුගෙන් ද ප්‍රශ්න කර ඇතැයි දැන ගන්නට ලැබී තිබෙනවා.

කෙසේ වෙතත් දියමන්ති මාලය තම නිවෙසෙහි දීම නැතිවූ බවට කෙරෙන සෝනම්ගේ ප්‍රකාශයම පිළිගන්නට පොලිසිය සූදානම් නැහැ. මේ සිද්ධිය පිළිබඳ විමර්ශන කටයුතු කරන පොලිස් නිලධාරීන් පැවසුවේ සාදයට සහභාගි වී සිටිද්දී සෝනම් නොදැනුවත්ව මාලය ගැලවී ඇති දැයි යන්න සොයා බලන බවයි. ඒ සඳහා සාදය පැවැති ශාලාවේ සවිකර ඇති සී.සී.ටී.වී‍. කැමරා දර්ශන පරීක්ෂා කිරීමට නියමිතයි. එම දර්ශනවලින් සෝනම් මේ මාලය පැළඳ සිටිනවා දැයි යන්න බලාගත හැකිවේ යැයි පොලිසිය පවසනවා.

Share this