ජීවත්වෙන්නේ තව මාසයයි කියලා මගේ වෛද්‍යවරයා මට කිව්වා

ජීවිතේ බොහොමයක් දේවල් සිද්ධ වෙන්නේ අපි හිතන පතන විදිහට නෙවෙයි. එහෙම වුණා කියල අපි අපේ ජීවිතයට එන ප්‍රශ්න, ගැටලුවලින් පලා නොයා ඒවාට නිර්භයව මුහුණ දෙන්න ඕන. මම මේ ලියන කතාවේ කතා නායිකාවත් එහෙමයි.

ඇගේ ජීවිතය බිලි ගන්නට පැමිණි මාරයා පලවා හැර ජීවිතය ජයගත් නිර්භීත යුවතියක් ඇය. මේ නිසාම නුවන් සමරපති රචනා කළ ‘යූ ටර්න්’ ධනාත්මක චින්තනය පිළිබඳ ලියූ කෘතිය ඕස්ට්‍රේලියාවේ දී එළිදක්වන මොහොතේ දී මේ කෘතියේ ‘රෝල් මොඩල්’ බවට පත්වන්නට වාසනාව හිමි කර ගත්තේ ඇයයි. මාරයා පරදා ජීවිතය ජය ගත් ඇය නමින් චතූ පත්බේරිය. චතූ ගේ කතාව ඇගේ වදන් වලින්ම මම ඔබට කියන්නම්.

චතූ මුලින්ම ඔබ ගැන හඳුන්වා දෙන්න?

‘මම උපන්නේ පාදුක්කේ. මගේ අම්මා උපාධිධාරී ගුරුවරියක්. පියා පුවත්පත් අංශයේ සේවය කළා. මට ඉන්නේ එක් සහෝදරයෙක් විතරයි. මගේ මල්ලී මේ වන විට ගණකාධිකාරීවරයෙක් ලෙස සේවය කරනවා. පුංචි කාලෙ ඉඳලම නැටුම් ගැයුම් වේදිකා නාට්‍යවලට මම කැමැතියි.

ඒ නිසාම මම පාසල් කාලයේ සිටම ඒවාට යොමු වුණා. පාසල් අධ්‍යාපනයෙන් පසුව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යාව පිළිබඳ ගෞරව උපාධිය ලබා ගත්තා. ඒ වන විටත් මම නිරූපිකාවක් විදිහටත් ටෙලිනාට්‍ය නිළියක් විදිහටත් ලංකාවේ කලා ක්ෂේත්‍රයේ කටයුතු කළා.

2003 වසරේ දී උපාධිය ලබා ගෙන අමාත්‍යාංශයක සහකාර අධ්‍යක්ෂකවරියක් ලෙස කටයුතු කළා. මේ කාලය අතරතුරදීත් මම කලාවට දායක වුණා.

මේ අතර තුර ඔබ විදේශ ගතවෙනවා නේද?

ඔව්. 2007 වසරේ දී මෙතෙක් කලක් ලංකාවේ කළ රාජකාරියට සමුදීලා මම ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබන්නට විදේශ ගත වෙනවා. එරටේ මෙල්බර්න් සරසවියෙන් උපාධිය සඳහා අධ්‍යාපනය ලබන අතරතුර මම කලා කටයුතුවලත් නිරත වුණා. ‍ඕස්ට්‍රේලියාවේ රාජ්‍ය අංශයේ රැකියාවක මම මේ වන විට නියැළෙනවා. ජීවිතය මේ විදිහට සතුටින් ගෙවීයත්දී මම මගේ ජීවිතයේ තරුණ යුවතියකට මුහුණදීමට අසීරුම ආකාරයේ අවාසනාවන්ත සිදුවීමකට මුහුණ දුන්නා.

ඒ සිදුවීම කුමක්ද?

2012 වසරේ දී මගේ එක් පියවුරෙක කුඩා ගැටිත්තක් ඇතිවුණා. මම පසුව මේ ගැටිත්ත මෙල්බර්න් හි මොනෑෂ් රෝහලේ වෛද්‍යවරයකුට පෙන් වූවා. ඔහුගේ නිගමනය වුණේ මට පිළිකාවක් වැලැදී ඇති බවයි. ඉන් පසුව ඔහු එම රෝහලේ පිළිකා පිළිබඳ සිටින ඉහළම වෛද්‍යවරයාට මාව යොමු කළා . ඒ වෛද්‍යවරයා මාව පරීක්ෂා කර බලා කිව්වේ මට ජීවත් විය හැක්කේ තවත් එක් මාසයක් පමණයි කියලයි. එදා තමයි මගේ ජීවිතයේ ඇසූ දුක්ඛදායකම පුවත මගේ දෙසවනෙන් ඇසුවේ. ඒ වෛද්‍යවරයා මාත් එක්ක හරිම සුහදව කතා කළා. මගේ හිත සැනැසුවා. ඒ අතරින් ඔහු එක් වදනක් පැවැසුවා. ඒ තමයි ‘අපි කවදාවත් අපි ළඟට එන ලෙඩෙක් අතහරින්නේ නැහැ. අපි උත්සාහ කරනවා ඔබේ ජීවිතේ බේරගන්න. ඒත් අපිට කළ හැක්කේ එයින් 25% ක් පමණයි. ඉතිරි 75% තිබෙන්නේ ඔබේ අතේ. ඒ ඔබේ ආත්ම ශක්තිය මතයි.’ කියලා. ඒ වාක්‍යය මගේ හිතට තදින්ම කා වැදුණා. ඉන්පසුව මම මගේ ජීවිතේ තීරණාත්මක මොහොතට මුහුණ දුන්නා. ඒ ගෙවුණු කාලය අදටත් මට හීනයක් වගෙයි.

ඔබ ඒ අවස්ථාවට මුහුණ දුන්නේ කොහොමද?

ඒ වදන් ඇසූ පසු මම දුක් වුණේ නැහැ. ජීවිතේ ගැන බලාපොරොත්තු තියා ගත්තා. හැමවෙලේම හිටියේ හරිම සතුටින් විනෝදයෙන්. යාළුවන් සමඟ හැම උත්සවයකටම ගියා. මට පැමිණි හැම බාධකයකටම මම නොබියව මුහුණ දුන්නා. මොඩ්ලින් කරපු රඟපාපු මට මගේ තිබුණු ලස්සන දිගු කෙස්වැටිය, ඇස් පිල්ලම් මේ හැමදෙයක්ම පිළිකා මාරයාට ලබා දුන් ඖෂධ නිසා නැතීවී ගියා. ඒත් ඒ කිසි දෙයකින් මම සැලුණේ නැහැ.

මම හැම වෙලාවෙම හිතුවේ මට ඇති පිළිකාවක් නැහැ කියලයි. මම පිළිකාවලට ලබා දෙන සැර බෙහෙත් හේත් පාවිච්චි කරමින් වෛද්‍යවරුන් පවසන හැම ප්‍රතිකාරයක්ම ලබා ගත්තා. ඒ හැමටම වඩා මම නිතරම හිතුවේ මට පිළිකාවක් නැහැ. මම මේ ලෙඩේ පරදා ජය ගන්නවා කියලයි. පිළිකාව ගැන දැනගත්තම මගේ පෙම්වතත් මාව ප්‍රතික්ෂේප කළා. මං ළඟ හිටියේ මගේ අම්මයි තාත්තයි විතරයි. මගේ අම්මා මාව හැමවිටම දිරිමත් කළා. ඒ නිසා මම පිළිකාව අමතක කර සතුටින් ජීවත් වුණා. මගේ තිබූ ආත්ම ශක්තිය නිසා මාසයක් ජීවත් වෙනවා කියා වෛද්‍යවරුන් අනතුරු හැඟවු මට මගේ ජීවිතය මාස දෙක දක්වා දිගු කරගන්න හැකි වුණා. මේ විදිහට ජීවිතේ ගැන දවසින් දවස බලාපොරොත්තු තබා ගන්න මටත් මගේ පවුලේ අයටත් හැකිවුණා. 2013 වසරේ දී පිළිකාව සුව වුණා. අදවෙන කොට මගේ ඇගේ එක පිළිකා ශෛලයක්වත් නැති බව වෛද්‍යවරු පවසනවා. ඔවුන්ටත් මගේ සුව වීම තරමක පුදුමයක්. හිතේ තිබුණු ධෛර්යවත් බවින් තමයි මම අද මෙතැන ඉන්නේ.

ඔබ මේ වන විට ගෙවන ජීවිතය මොන වගේ ද?

අද මම සතුටින් ජීවත් වෙනවා. සුපුරුදු විදිහට මම නැවතත් මගේ රැකියවේ වගේම සුපුරුදු කලා කටයුතුවලටත් දායක වෙනවා. දැන් මගේ හිසකෙස් හොඳින් වැවී තිබෙනවා. මට අහිමි වී ගිය දේවල් නැවතත් මට ලැබී තිබෙනවා. ඒත් ජීවිතේ ගැන උපේක්ෂා සහගතව හිතන්න මම දැන් පුරුදුවෙලා. ඒ වගේම මම පිළිකා රෝගයට මුහුණ දී සිටින රෝගීන් වෙනුවෙන් මගේ අත්දැකීම් බෙදාහදා දෙනවා. ඔවුන්ටත් මම මේ රෝගයට මුහුණ දුන් විදිහට ජීවිතයට මුහුණ දෙන්න කියලා දෙනවා. ලංකාවට ආවහම මම පිළිකා රෝගීන් වෙනුවෙන් දේශන පවත්වනවා. ඔවුන්ට ධනාත්මකව ජීවිතේ ගැන හිතන්න කියලා දෙනවා. මේ වෙන කොට නුවන් සමරපති මහතාගේ ‘යූ ටර්න් දෙක ‘ කෘතියට මගේ කතාව ලියන්නට ඔහු සූදානම් වෙනවා. ඊට අමතරව මම ඕස්ට්‍රේලියාවේ පිළිකා රෝගීන් වෙනුවෙන් අරභා ඇති ccf සංගමයේ කටයුතු සඳහාත් දායක වෙනවා.






Share this