එලොව ගිහින් මෙලොව ආ හැටි....

ෂෙරන් ස්ටෝන් මීට දශක දෙකකට පමණ පෙර හොලිවුඩ් සිනමා‍ ලොවේ ගිනි සිළුවක් වී සිටියා‍. ඇගේ ආන්දෝලනාත්මක රංගන‍ සිනමා විචාරකයන්ගේ අවධානය දිනා ගන්නට සමත් වූවා‍. අනුරාගයේ සංකේතයක් ලෙස හැඳින්වූ ෂෙරන්, මේ වන විට 56 වැනි වියෙහි පසුවෙනවා.

මීට වසර 13 කට එපිටදී ඇය බරපතළ ලෙස රෝගාතුර වුණා. මොළයේ අභ්‍යන්තර ලේ ගැලීමක් නිසා තමන් අංශ බාග රෝගියෙකු බවට පත්වී සිටියා යැයි ඇය මෑතකදී මුල් ම වතාවට හෙළි කළා. ඒ අභාග්‍ය සම්පන්න කාලය ඇගේ ම වචනවලින්....

“ඒක මහා වේදනාකාරී අත්දැකීමක්... 2001 දීයි මට ඔය අසනීපය හැදුණේ. ඒ වෙලාවේ මාව ගෙදරදී ඇදගෙන වැටුණා. රෝහලට ඇතුළත් කළායින් පස්සෙ, දවස් 9 ක් ම දැඩි සත්කාර ඒකකයේයි, මම හිටියේ. ජීවිතය ගැන විශ්වාසයක් තියා‍ගන්න බැරි තත්ත්වයකයි මම ඉඳලා තියෙන්නෙ. රෝහලෙන් ආවට පස්සෙ අවුරුදු 2 ක් විතර ගතවෙන තුරු මට හරියට කතා කරන්නවත්, ඇවිදින්නවත්, පොතක් පතක් කියව ගන්නවත් බැරිවයි හිටියේ. ඒ අවුරුදු දෙකේදීම මම ඇවිදින්නයි, කතා කරන්නයි, පොත්පත් කියවන්නයි ඉගෙන ගත්තා.‍‍”

ෂෙරන් දැන් යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් කල් ගෙවනවා. ඇය වෙතින් තවමත් එදා තිබුණු සුන්දරත්වය ගිලිහී ගොස් නැහැ. ඒ නිසා ම ඇය රංගනයෙන් සමුගෙනත් නැහැ. මේ වසර අගදී විකාශය වීමට නියමිත ‘ඒජන්ට් x’ නම් වූ ටෙලිනාට්‍ය මාලාවෙන් ඇය නැවතත් රසික පිරිස හමුවෙනවා. එම ටෙලිනාට්‍ය මාලාවේ ඇය නි‍රූපණය කරන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයේ පළමු උප ජනාධිපතිවරියගේ චරිතයයි.














Share this