ජීවිත 3ක්‌ රැකදුන් ශ්‍රී ලාංකිකයාට ඔස්ට්‍රේලියාවෙන් සම්මාන

දැනට ඔස්‌ට්‍රේලියාවේ පෞද්ගලික ආයතනයක ඉහළ පෙළේ රැකියාවක්‌ කරන කන්තලේ ප්‍රදේශයේ ඡන්ම ලාභය ලද 37 හැවිරිදි එක්‌ දරු පියකු එම රටෙහි පුරවැසියන් තිදෙනකුගේ ජීවිත බේරා ගැනීම සඳහා තම රුධිරය දන්දීම වෙනුවෙන් ඔස්‌ට්‍රේලියානු රජය විසින් ඉහළම සම්මානය ලබාදුන් පුවත පසුගියදා එරට ඉහළින්ම අගය කර පුවත්පතක පළ කර තිබිණි.

මවුබිමට ගෞරවයක්‌, කීර්තියක්‌ ගෙනදුන් මෙම උදාර පුත්‍රයා කන්තලේ පරාක්‍රම මාවතේ උපත ලද එච්. ඒ. සුගත් ඉන්ද්‍රලාල් මහතාය. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ විශ්‍රාමික එච්. ඒ. සිරිසේන මහතා හා එච්. එම්. බණ්‌ඩාර මැණිකේ මහත්මිය ඔහුගේ මාපියෝ වෙති.

දරුවන් හයදෙනකුගෙන් යුත් පවුලේ බාලයා සුගත් ඉන්ද්‍රලාල් මූලික අධ්‍යාපනය ලබන්නේ කන්තලේ අග්‍රබෝධි ජාතික පාසලෙනි. එහිදී 5 ශිෂ්‍යත්ව විභාගය ඉහළින් සමත්වූ ඔහු අධ්‍යාපනය සඳහා මහනුවර සිල්වෙස්‌ටර් විද්‍යාලයට ඇතුලත් වේ. සාර්ථකව අධ්‍යාපනකටයුතු නිමකළ ඔහු ඩයලොග් ආයතනයේ විධායක නිලධාරියෙකු ලෙස තම ජීවිකාව ඇරඹීය.

සාර්ථක යුග ජීවිතයක්‌ ගත කරමින් සිටි සුගත්ට ඔස්‌ට්‍රේලියාවේ සමාගමක ඉහළ පෙළේ රැකියාවක්‌ සඳහා යැමට වාසනාව පෑදෙන්නේ 2000 වසරේදීය. ඒ වන විට ඔහු එක්‌ දරු පියෙකි.

පසුගිය දිනෙක මෙම තරුණ යුවළ මීට වසර 26 කට පෙර මියගිය සුගත්ගේ පියාගේ ගුණ සමරුම වෙනුවෙන් ඔස්‌ට්‍රේලියාවේදී ආගමික කටයුතුවල නිරත වෙමින් සිටියදී එරට රෝහලක අසාධ්‍යව සිටි රෝගීන් තිදෙනකු සඳහා රුධිරය අවශ්‍ය බවට තොරතුරු ලැබී ඇත. එම පුණ්‍ය කටයුත්තට උරදෙන්නට දෙවරක්‌ නොසිතාම සුගත් ඉදිරිපත්වී රුධිරය පරිත්‍යාග කිරීම මෙසේ ඔහු ඇගයීමට හේතුවී ඇත.

Share this