මැතිවරණය ප්‍රකාශ කළ පසු අගමැති අපේක්ෂකයා කවුද කියනවා

එළඹෙන මැතිවරණය ප්‍රකාශයට පත් කළ විට අගමැති අපේක්ෂකයා කවුරුදැයි ප්‍රකාශ කරන බවත් මහ මැතිවරණයේ දී සියලුදෙනා සමඟ එක්ව ජයග්‍රහණය සඳහා කටයුතු කරන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවැසීය.

ඔහු මෙම අදහස් පළ කළේ මල්වතු පාර්ශ්වයේ මහනායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහ නාහිමියන් බැහැ දැක (21) දා ආශිර්වාද ලබාගැනීමට උන්වහන්සේගේ නිල ආරාමයට පැමිණි අවස්ථාවේදීය. ශ්‍රී දළදා වහන්සේ වැඳ පුදාගෙන මල්වතු මහ නාහිමියන් බැහැ දැකීමට පැමිණි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක සුසිල් ප්‍රේමජයන්ත මහතා එහිදී මෙසේ ද පැවැසීය.

පක්ෂයේ ව්‍යවස්ථාවට අනුව වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සභාපති ලෙස පත් වු විට අනුශාසක ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පත්වෙනවා. හිටපු ජනාධිපතිතුමාත්, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියත්, හිටපු අගමැතිවරුන් දෙපළත් පක්ෂයේ අනුශාසකවරුන් ලෙස පත්වී සිටිනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව මගින් මේ පත්කිරීම ඒකමතිකව ව්‍යවස්ථාවට අනුව සිදුකළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙරට ප්‍රබලතම දේශපාලන පක්ෂයක්. අපේ සියලු බලවේග එක්කොට එළඹෙන මැතිවරණයෙන් ජයග්‍රහණය කිරීමට කටයුතු කරනවා.

දැනට පවතින මනාප ක්‍රමය වෙනස් කළ යුතු බවත් ජනතාවට තමන් කැමති නායකයකු පත්කර ගැනීමට ඉඩදිය යුතු බවත් මෙහිදී මල්වතු මහ නාහිමියෝ පැවසූහ.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික එස්. බී. නාවින්න, මහලේකම් අනුර ප්‍රියදර්ශන යාපා, මධ්‍යම පළාත් ප්‍රධාන ඇමැති සරත් ඒකනායක, පළාත් සභා මන්ත්‍රීවරුද එක්ව සිටියහ.

Share this