ශිරාණි ශ්‍රේෂ්ඨාධිකරණයට ඇවිත් යළි අගවිනිසුරු වෙයි

ශ්‍රී ලංකා සමාජවාදී ප්‍රජාතාන්ත්‍රික ජනරජයේ 43 වන අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියට අගවිනිසුරු ධූරය දැරීමට පැවති නෛතිකමය බාධා ඉවත්කර තිබේ. 

ඒ අනුව ඇය යළි අගවිනිසුරු ලෙස මේවන විට කටයුතු කරන බවත්, හෙට දිනයේ විශ්‍රාම ගනු ඇති බවත් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ උපුල් ජයසූරිය මහතා පවසයි. 

මේ අතර මොහාන් පීරිස් මහතා අගවිනිසුරු නිලය දරමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් තීන්දුවල වලංගුතාවය පිළිබඳව නීතිමය ගැටලුවක් පැන නඟින්නේ නැතිදැයි අද දෙරණ කළ විමසීමකදී උපුල් ජයසූරිය මහතා කියා සිටියේ එය එසේ නොවන බවයි. 

නඩු විභාගයකදී අගවිනිසුරුවරයා ප්‍රමුඛ විනිසුරුවන් තිදෙ‍නෙකු හෝ සිටින බැවින් එක් අයෙකු ධූරයෙන් ඉවත් වූ පමණින් ලබාදුන් තීන්දු වල නෛතිකභාවය අවලංගු නොවන බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය. 

මේ අතර ශිරාණි බණ්ඩාරනායක මහත්මිය 2013 වසරේදී දෝෂාභියෝගයක් මගින් ඉවත් කළ ආකාරය ව්‍යවස්ථා විරෝධී යැයි පවසමින් යළි සේවයට පැමිණෙන්නැයි සඳහන් ලිපියක් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ඇයට යවා ඇතැයි නම හෙළි කිරීමට අකමැති වූ රජයේ ප්‍රබලයෙක් ඒ.එෆ්.පී පුවත් සේවයට පවසා ඇත. 

වත්මන් අගවිනිසුරු මොහාන් පීරිස් මහතාට සිය තනතුරින් ඉවත්වන්නැයි ඉල්ලා අද පෙරවරුවේ උසාවි සංකීර්ණය ඉදිරිපිට විරෝධතාවයක්ද පැවැත්විණ. 

එම අවස්ථාවේදී මාධ්‍යවේදීන් හමුවේ අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨ නීතීඥ ජේ.සී වැලිඅමුණ මහතා කියා සිටියේ නීතිඥයින්, වත්මන් පාලනය මොහාන් පීරිස් මහතා අගවිනිසුරු ලෙස තවදුරටත් පිළිනොගන්නා බවයි. 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 172 වැනි වගන්තිය අනූව දෝෂාභියෝගයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර හිටපු අගවිනිසුරුවරිය ධූරයෙන් ඉවත් කිරීමේ ක්‍රියාවලිය නිවැරදිව සිදුව නැති බව ඒ මහතා පෙන්වාදුන්නේය. 

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනාධිපතිවරිය විසින්, ශිරාණි බණ්ඩාරනායක මහත්මිය ශ්‍රේෂ්ඨාධිකරණයට පත් කරන ලද්දේ 1996 ඔක්තොම්බර් 30 වැනිදාය. 

අනතුරුව 2011දී ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින්, ඇය අග්‍රවිනිශ්චයකාරවරිය ලෙස පත් කළ අතර 2011 මැයි 18දා අගවිනිසුරුවරිය ලෙස දිවුරුම්දෙන ලදී. 

දෝෂාභියෝගයක් ඉදිරිපත් කර ඇය ධූරයෙන් පහ කිරීම නිසා මහින්ද රාජපක්ෂ මහතා විසින් මොහාන් පීරිස් මහතා නව අගවිනිසුරු ලෙස පත් කිරීමට පියවර ගත්තේය. 

ශිරාණි බණ්ඩාරනායකට එම දෝෂාභියෝගය ඉදිරිපත්වීමට මූලිකවම බලපෑවේ දිවිනැඟුම පනත් කෙටුම්පත පිළිබඳව කතා පුවතය. 

ශ්‍රී ලංකාවේ දක්ෂිණ සංවර්ධන අධිකාරිය හා උඩරට සංවර්ධන අධිකාරිය ඒකාබද්ධ කොට දිවිනැඟුම සංවර්ධන දෙපාර්තමේන්තුව පිහිටුවන ලදී. 

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සොහොයුරු බැසිල් රාජපක්ෂ යටතේ පැවැති ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් දිවිනැඟුම සංවර්ධන දෙපාර්තමේන්තුව පාලනය කෙරෙමින් සංවර්ධන කටයුතු සිදු කිරීමට නියමිතව තිබුණි.[ 

ඒ අනූව අදාළ දිවිනැඟුම පනත් කෙටුම් පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ නීර්ණයන් එවකට ජනාධිපතිවරයා වෙත යැවූ දිනට පසුදින එනම් 2012 නොවැම්බර් 01 වැනිදා අග්‍රවිනිශ්චයකාර බණ්ඩාරනායක මහත්මියට එරෙහි දෝෂාභියෝග යෝජනාවක් එජනිස මන්ත්‍රීවරුන් 117 දෙනෙකුගේ අත්සන් සහිතව කතානායක චමල් රාජපක්ෂ වෙත භාරදෙන ලදී. 

2012 නොවැම්බර් 6 වැනිදා කතානායක චමල් රාජපක්ෂ මහතා විසින් බණ්ඩාරනායක මහත්මියට එරෙහි චෝදනා 14 හෙළි කළ අතර, මූල්‍ය තොරතුරු හෙළි නොකිරීම, බලය අනිසි ලෙස භාවිතා කිරීම සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නොසලකාහැරීම යන චෝදනා ඊට ඇතුළත්ව තිබුණි. 

කෙසේ වුවද ශිරාණි බණ්ඩාරනායක මහත්මිය එකී චෝදනා ප්‍රතික්ෂේප කරන ලදී. 

තතු එසේ වුවත් දෝෂාභියෝග චෝදනා විභාග කිරීම සඳහා රජයේ මන්ත්‍රීවරුන් 7 දෙනෙකු සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් 4 දෙනෙකුගෙන් සමන්විතවූ සත් සාමාජීක පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් (PSC) පත් කෙරිණි. 

දෝෂාභියෝග චෝදනා පිළිබඳ විභාගය 2012 නොවැම්බර් 23, 2012 දෙසැම්බර් 4 දින සහ 2012 දෙසැම්බර් 6 දිනදී පැවැත්වුණු අතර එදින බණ්ඩාරනායක මහත්මිය ඉන් ඉවත්ව ගියාය. 

කෙසේ වුවද බණ්ඩාරනායක මහත්මියට එරෙහි දෝෂාභියෝග යෝජනාව 2013 ජනවාරි 10 සහ 11 යන දින වලදී පාර්ලිමේන්තුවේ විවාදයට ගැනිණි. 

ඒ අනූව පාර්ලිමේන්තුව විසින් යෝජනාව සම්මත කර ගන්නා ලද අතර මන්ත්‍රීවරු 155 දෙනෙක් එයට පක්ෂවද මන්ත්‍රීවරුන් 49 දෙනෙක් එයට විරුද්ධවද ඡන්දය ප්‍රකාශ කිරීමෙන් පසුව ජනාධිපතිවරයා ඔහුට පැවරී ඇති බලතල අනූව මොහාන් පීරිස් මහතා අගවිනිසුරු ලෙස පත් කළේය. 

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට එරෙහිව බණ්ඩාරනායක මහත්මිය විසින් අභියාචනයක් ඉදිරිපත් කළ අතර 2013 ජනවාරි 7 දිනදී අභියාචනාධිකරණය විසින් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ අධිගමනයන් නිෂ්ප්‍රභ කළ කිරීම නිසා අභියාචනාධිකරණ විනිසුරුවන් දෙදෙනෙකු, වූ එස්. ශ්‍රී ස්කන්ධරාජා සහ අනිල් ගුණරත්න යන අයට මරණ තර්ජන එල්ල වූ බවද වාර්තා විණ.

Share this