අමීර් ඛාන් අනුෂ්කාට ගත්ත සාරියට වෙච්ච දේ

හාස්‍යය මුසු වූ කතාවක් රැගත් අලුත්ම බොලිවුඩ් චිත්‍රපටය ‘පී. කේ.’ රාජ්කුමාර් හිරානි නිෂ්පාදනය කර අධ්‍යක්ෂණය කර ඇති මේ චිත්‍රපටයේ ප්‍රධාන නළු නිළි යුවළ අමීර් ඛාන් සහ අනුශ්කා ශර්මායි. පසුගිය 19 දා සිට තිරගත කිරීම ආරම්භ කළ මෙහි ප්‍රවර්ධන වැඩ සටහන් කිහිපයක් පසුගිය දා ඉන්දියාවේ වරනාසි ප්‍රදේශයේ සිදු කෙරුණා.

මේ ප්‍රවර්ධන කාර්යයට චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා සමඟ අමීර් සහ අනුශ්කා ඇතුළු පිරිසක් එක්වී සිටියා. අමීර්, අනුශ්කා ව සලකන්නේ තමන්ගේම බාල සොහොයුරියක් හැටියටයි. ඉතින් අමීර්ට ඕනැ වුණා, තමන් සමඟ ‘පී. කේ.’ චිත්‍රපටයේ රඟපෑ අනුශ්කාට මතකයේ රැ‍ඳෙන තෑග්ගක් දෙන්නා. ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හි පිහිටි වරනාසි ප්‍රදේශය අගනා ඇඳුම් පැලඳුම් වලටත් – විශේෂයෙන්ම අලංකාර සාරි වලටත් ප්‍රසිද්ධයි.

ඒ නිසා අමීර් යුහුසුලු වුණා, අනුශ්කාට ලස්සන සාරියක් මිලදී ගන්න. ප්‍රවර්ධන වැඩ සටහන අතරේදී ලැබුණු විවේක කාලයේ දී සාප්පු කිහිපයකට ගොඩ වැදුණු අමීර් පැයක් පමණ ගතකර වටිනා සාරියක් මිලදී ගත්තා. එය තමන් ගමන් කළ වාහනයේ ආරක්ෂිත තැනක තැබූ අමීර් නැවතත් ප්‍රවර්ධන වැඩ සටහනට හිත යොමු කළා. වරනාසි පුරවරයෙහි සංචාරය කළ ඔහුට අනුශ්කා ගේ සාරිය අමතකව ගියා. ඒ ගැන මතක් වුණේ වැඩ සටහන නිමාවට පත්වී ආපසු එන්න ලකලැහැස්ති වෙද්දීයි.

අමීර් වාහනයට නැඟී සාරිය තිබුණු තැන බැලුවා. ඒත් එය තිබුණේ නැහැ. වරදීමකින් කවුරුන් හෝ වෙනත් තැනක තබා ඇතිදැයි සොයා බැලුවත් සාරිය කොතනකවත් තිබුණේ නැහැ. අමීර් කනස්සල්ලට පත්වුණා. ලොකු උනන්දුවකින් තෑග්ගක් හැටියට දෙන්න තෝරා ගත් සාරිය කවුරුන් හෝ සොරකම් කර ඇති බව ඔහුට වැටහුණා. ඔහු ඒ ගැන ආසාව අත්හැරියා. තෑග්ග නොලැබුණු අනුශ්කා මේ ගැන මොනවා කීවාදැයි ආරංචි නැහැ.

Share this