කිසිදා අමතක නොවන ක්‍රිකට් සුසංයෝගය

2015 පෙබරවාරි 14 වැනිදායින් ඇරැඹී මාර්තු 29 වැනිදා අවසන් වන ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලාංකේය ක්‍රිකට් ක්‍රීඩකයින්ට මෙන්ම ක්‍රීඩා ලෝලී සියලු දෙනාටම අතිශයින් වැදගත් වන්නේ සුවිශේෂී කාරණා කීපයක් නිසාය. ඉන් පළමුවැන්න නම් පිට පිට තරගාවලි දෙකකදීම ජයග්‍රහණ පෙනි පෙනී අවසන් මහා තරග පරාජය වී අනුශූරයන් වීමෙන් ලද කටුක අත්දැකීමේ වාඩුව ලබා ගැනීමට මෙය මහඟු අවස්ථාවක් කරගත ‍හැකි නිසා.

අනෙක් කරුණ වන්නේ ශ්‍රී ලංකාව බිහිකළ සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයන් වන කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන යන විශිෂ්ටයන්ගේ අවසන් ලෝක කුසලාන තරගාවලිය මෙය වීම නිසා.

මෙම සටහන තැබෙන (16) දින අපේ රටේ සංචාරය කරන නවසීලන්ත කණ්ඩායම සමඟ ශ්‍රී ලංකා කණ්ඩායම තරග වදින අවසන් එක්දින තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්විණි‍.

තරගයක් ඉතිරිව තිබියදීම ශ්‍රී ලංකාව මෙම තරගාවලිය ජයගෙන ඇති නිසා මෙම තරගය එතරම් උණුසුම් බවක් නොගත් නමුත් විශිෂ්ටයින් දෙදෙනකු මවුබිමේ තරග වැදෙන අවසන් තරගය නිසා එය අපට සුවිශේෂී වි‍ය.


එම විශිෂ්ටයන් අතර සිටින මහත්වරුන්ගේ ක්‍රීඩාවේ මහත්වරුන් ලෙස නියැළී මවුබිමට උපරීම ගෞරවය ලබා දෙමින් ජාත්‍යන්තරයේ හොඳ නම දිනාගත් කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන වෙනුවෙන් අද මෙම සටහන වෙන් වෙයි.

මාතලේ ඉපදුණත් කන්ද උඩරට හැදී වැඩි පාසල් ගොස් ශ්‍රී ලාංකේය ක්‍රිකට් ඉතිහාසයේ විරුවන් අතරට එක්වන්නට වාසනාව ලද සංගා පසුගිය 13 දා නිමාවුණු එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවැති 6 වැනි එක්දින තරගය පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ ඔහුගේ අවසන් තරගය බවට පත්කර ගත්තේය.

එහිදී ආරම්භක පිතිකරු ලෙස පිටියට පිවිසි මහේල ජයවර්ධන ලකුණු 5 කට දැවී යාමත් සමඟ දස දහසකට අධික ක්‍රීඩා ලෝලීන්ගේ ඔල්වරසන් මැද පිටියට පිවිසි සංගා පන්දු 112 කට මුහුණ දෙමින් ලකුණු 112 ක් රැස් කළේය. නරඹන්නන් අමන්දානන්දයට පත් කරමින් මෙම ක්‍රීඩාංගණයේ සිය අවසන් එක්දින ඉනිම වර්ණවත් කළ ඔහු හතරේ පහර 12 ක් සහ හයේ පහර 2 ක් එල්ල කළ අතර මෙම ක්‍රීඩාංගණයේ රැස්කළ එකම සහ අවසන් ශතකය රැස් කළේය. එය ඔහුගේ ජාත්‍යන්තර 20 වැනි ශතකයයි.

ආරම්භක පිතිකරු තිලකරත්න ඩිල්ෂාන් සමඟ දෙවැනි කඩුල්ලට ලකුණු 153 ක සබඳතාවක් ගොඩනැඟු සංගාගේ සුපිරි ඉනිම නිසා ශ්‍රී ලංකාවට ලකුණු 90 ක ජයක් හිමිවුණු අතර ඔහුට මෙහිදී තරගයේ වීරයා සම්මානය හිමි වීමත් විශේෂත්වයකි.

සංගා ශ්‍රී ලංකාවේ ක්‍රීඩා කළ මෙම අවසන් තරගාවලිය සැබැවින්ම ඔහුටත් ශ්‍රී ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාවටත් සුවිශේෂී එකක් වෙයි. පසුගිය 03 වැනි බදාදා සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැති තුන්වැනි තරගයේ ජය එංගලන්තයට හිමි වුවත්, එම තරගය සංගාගේ ක්‍රීඩා දිවියේ අපූරු මතක සටහනක් බවට පත් විය.

එහිදී සංගා ශ්‍රී ලංකා නායක මැතිව්ස් සමඟ ලකුණු 87 ක සබඳතාවක් පිහිටුවූ අතර ඔහු ලබාගත් අර්ධ ශතකය ඔහුගේ 89 වැනි අර්ධ ශතකය ලෙස වාර්තා විය. (මේ වන විට ඔහු අර්ධ ශතක 91 ක් ලබා සිටී) එසේම ලෝකයේ දක්ෂතම පිතිකරුවන් වන පිළිවෙළින් සචින් ටෙන්ඩුල්කාර්, රිකී පොන්ටින් සහ සනත් ජයසූරියට පසුව එක්දින ජාත්‍යන්තර ලකුණු 13,000 ඉක්මවා රැස්කළ සමාජයට එක්වන්නට ද ඔහුට හැකි විය.

පන්දු රැකීමේදී රවී බොපාරා එල්ල කළ පහරක් අගනා උඩපන්දුවක් බවට පත්කර ගත් සංගා ලොව වැඩිම දවා ගැනීම් සංඛ්‍යාවකට දායක වූ පන්දු රකින්නා බවට පත්වූයේ උඩපන්දු 382 ක් සහ ්ටම්ප් කිරීම් 92 ක් ලෙසින් තරග 386 කදී දවා ගැනීම් 474 කට දායක වෙමිනි.

සංගා මෙහිදී බිඳ දැමුවේ ඕස්ට්‍රේලියාවේ ඇඩම් ගිල්ක්‍රිස්ට් උඩපන්දු 417 ක් ස්ටම්ප් කිරීම් 55 ක් සමඟ දවා ගැනීම් 472 ක් ලෙස මීට පෙර තබා තිබූ ලෝක වාර්තාවයි. එසේම මෙම තරගාවලියේ දෙවැනි තරගය කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ පැවැති අතර මුල් කඩුලු 2 ලකුණු 37 කට දැවී ගිය විට සංගා සහ මහේල පිටියට පිවිසියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨතම පිතිකරු යුගළය ලෙසයි. එහිදී ඔවුන් දෙදෙනා ලකුණු 149 ක අගනා සබඳතාවක් ගොඩනැඟුවේ සංගා ලකුණු 67 ක් සහ මහේල ලකුණු 77 ක් ලබමින්.

සංගා ගැන කතා කිරීමේදී ඔහු මෙතෙක් පිහිටුවා ඇති වාර්තා පිළිබඳව අමතක කළ නොහැකිය.

සංගාගේ ටෙස්ට් වාර්තා පිළිබඳව සැලකීමේදී දැනට ක්‍රීඩා කරන ක්‍රීඩකයන් අතරින් ලොව වැඩිම ද්විත්ව ශතක ලාභියා ඔහුයි. ඔහු ලබා ඇති ද්විත්ව ශතක ගණන 10 ක් වන අතර දෙවැනි වන්නේ ලොව වැඩිම ද්විත්ව ශතක ලාභියා වන ඩ්‍රොන් බ්‍රැඩ්මන්ට (12) පමණි.


  • වැඩිම ටෙස්ට් ශතක හිමි ශ්‍රී ලාංකිකයා ටෙස්ට් තරග 125 කදී ශතක 37 ක්.
  • වැඩිම දවා ගැනීම් (කඩුලු රැකීම ඇතුළුව) තරග 125 කදී දවා ගැනීම් 173 ක්.
  • ලොව වේගවත්ම ලකුණු 8,000 රැස්කළ ක්‍රීඩකයා (ඉනිම් 152)
  • ලොව වේගවත්ම ලකුණු 9,000 රැස්කළ ක්‍රීඩකයා (ඉනිම් 172)
  • ලොව වේගවත්ම ලකුණු 11,000 රැස්කළ ක්‍රීඩකයා (ඉනිම් 208)
  • වැඩිම කඩුලු අතර සබඳතාව ඕනෑම කඩුල්ලකට මහේල ජයවර්ධන සමඟ 2006 දී දකුණු අප්‍රිකාවට එරෙහිව තුන්වැනි විකට්ටුව සඳහා ලකුණු 624 ක්. (සංගා 287, මහේල 374)


කෙසේ වෙතත් සංගා ටෙස්ට් පිටියේ තවදුරටත් රැඳී සිටින නිසා ඉදිරියේදී මෙම වාර්තා වෙනස් වීමටත් නව වාර්තා එක්වීමටත් ඉඩ තිබේ.

එක්දින ජාත්‍යන්තර පිටියේ සංගාගේ වාර්තා ගැන සලකා බැලීමේ දී සංගා,


  • වැඩිම අර්ධ ශතක ලබාගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයා (තරග 389 කදී අර්ධ ශතක 91 ක්)
  • වැඩිම දවා ගැනීම් ලෝක වාර්තාව තරග 389 කදී ස්ටම්ප් කිරීම් 92 ක් සහ උඩපන්දු 388 ක් සමඟ දවා ගැනීම් 480 ක්.
  • හොඳම දෙවැනි කඩුල්ලේ සබඳතාව ලකුණු 200. තිලකරත්න ඩිල්ෂාන් සමඟ 2012 ඉන්දියාවට එරෙහිව හොබාර්ට් හිදී.
  • කඩුලු රකින්නකු ලෙස එක්දින තරගවලදී වැඩිම ස්ටම්ප් කිරීමේ ලෝක වාර්තාව ස්ටම්ප් කිරීම් 92 ක්.


මේ අනුව බලන කල සංගා සහ මහේල මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ ජයග්‍රහණයන්ට ලබා දී ඇති දායකත්වය අතිවිශාල වෙයි. ඒ නිසාම ඔවුන්ගේ සමුගැනීම ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට විශාල පාඩුවක් ද වෙයි. ඒ මොවුන් දෙදෙනාටම තව දුරටත් ක්‍රීඩා කිරීමේ හැකියාව ඇති නිසා. ඔවුන් දෙදෙනා හොඳින්ම දක්ෂතා පෙන්වන නිසා.

“එළඹෙන ලෝක කුසලාන තරගාවලියෙන් පසු මම එක්දින තරගවලින් සමුගන්නවා. ඒක ස්ථිරයි. නමුත් ටෙස්ට් තරගවලින් සමුගන්නවා ද නැද්ද කියලා තවම තීරණය කරලා නැහැ.

ක්‍රීඩකයකු ලෙස ක්‍රිකට් පාලක මණ්ඩලය සමඟ කොන්ත්‍රාත්තුවක් අත්සන් කළාට අපේ ඇත්ත කොන්ත්‍රාත්තුව තිබෙන්නේ ලංකාවේ අපේ ක්‍රීඩා ලෝලීන් එක්ක. අපි ඔවුන් වෙනුවෙන් ක්‍රීඩා කරන්නෙ. මගේ අවසන් තරගයට මේ තරම් පිරිසක් පැමිණිලා ශ්‍රී ලංකා කණ්ඩායමට සහයෝගය ලබාදීම ගැන ඔවුන්ට ස්තූතිවන්ත වෙනවා. ක්‍රිකට් ජීවිතය ඉවර වෙද්දී යන්න ඕන. ඒක ඕනම ක්‍රීඩකයකුට පොදුයි. මගේ කාලය දැන් හරි.”

සංගා එලෙස මහනුවරදී සමුගනිද්දී මහේල කොළඹ දී සිය සමුගැනීම ගැන කතා කළා.

“අපිට කවදාහරි යන්නම වෙනවා. මමයි සංගායි කනගාටුවෙන් නෙවෙයි යන්නේ. අපි වගකීම ඉටුකළා. දැන් තරුණ ක්‍රීඩකයන් අපේ තැන අරගෙන අපටත් වඩා හොඳට ක්‍රීඩා කළ යුතුයි. එවිට ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව තව තවත් ඉහළට යාවි.”

මහේල මවුබිමේදී එක්දින තරග 150 කට ක්‍රීඩා කර ශතක 4 ක් සමඟ ලකුණු 4018 ක් රැස්කරගෙන ඇති අතර සංගා මවුබිමේදී තරග 141 කදී ශතක 4 ක් සමඟ ලකුණු 4691 ක් ලබා තිබේ.


යළිත් මවුබිමේදී මහේල - සංගා සුසංයෝගය දක්නට නොලැබුණත් පෙබරවාරි 14 වැනිදා ඇරැඹෙන ලෝක කුසලාන තරගාවලියේදී දෙදෙනාගේ සුපිරි පිතිහරඹයන් අප අමන්දානන්දයට පත්කරාවි. ශ්‍රී ලංකා පිල ජයග්‍රාහී මාවතට ගෙන ඒවි. ඒ තුළින් අපට ගිලිහී ගිය ලෝක කුසලාන කිරුළ දිනා ගන්නට හැකි වේවි. මවුබිම ජාත්‍යන්තරයට බිහිකළ මේ විශිෂ්ටයන් දෙදෙනාට උපහාරයක් ලෙස ලෝක කුසලාන කිරුළ දිනාගන්නට මැතිව්ස් ඇතුළු සෙසු ක්‍රීඩකයන් සිය උපරීමය කරාවි.

Share this