සුරේෂ් ගමගේ ගායිකාවක් සමග පෙම්දමක පැටලිලා

මුලින්ම අපි සුරේෂ්ගේ මේ නත්තල් ගීතය ගැන කතා කරමු.
මාගේ යේසුනි නමැති මේ ගීතය 2014 නත්තල වෙනුවෙනුයි මම නිර්මාණය කළේ. ගීතය හා එහි රූප රචනය පහුගිය 15 වැනිදා නිකුත් කළා. ගීතය රචනා කළ ශාන් පෙරේරා තමයි මෙහි රූප රචනය අධ්‍යක්ෂණය කළේ. සංගීතවත් කළේ සජීව සංකල්ප. රූප රචනයේ කැමරා අධ්‍යක්ෂණයත් ඔහුගේ.

දැන් රඟපෑමට හා නැටුමට වඩා ගැයුමට වැඩි උනන්දුවක් දක්වනවා නේද?
රැු`ගුම හා නැටුම ඒ විදියටම තියෙනවා. ගැයුමට වැඩි උනන්දුවක් දක්වනවා කිව්වට වැරදි නැහැ. ඊට හේතුව ගායනය පැත්තෙන් වැඩිපුර අවස්ථා ලැබෙනවා.

මොනවද ඒ අවස්ථා?
දෙස් විදෙස් ප‍්‍රසංග සඳහා ලැබෙන අවස්ථා ගොඩාක් තියෙනවා. ඊට අමතරව මෑත කාලයේ ටෙලි නාට්‍ය තේමා ගීත ගයන්න වගේම චිත‍්‍රපට පසුබිම් ගී ගයන්නත් වැඩිපුර අවස්ථා ලැබුණා.

සිනමා පසුබිම් ගායනය ගායකයකු හෝ ගායිකාවක ලබන සුවිශේෂ අවස්ථාවක්?
මට ඒ භාග්‍යය උදාවුණා. මා රඟපෑ තිරගත වීමට නියමිත චිත‍්‍රපට දෙකකම මගේ රංගනයට පසුබිම් ගීත ගයන්නේ මම. ඒ තමයි තුහිනයේ හමුවෙමු සහ ඇතුවත් බෑ නැතුවත් බෑ කියන චිත‍්‍රපට දෙක. ඊට අමතරව මම ර`ගපාන නවතම ටෙලි නාට්‍යයේ තේමා ගීතය ගයන්නෙත් මම. ක්ලීටස් මෙන්ඩිස්ගේ පරපුර චිත‍්‍රපටයේ නවක රංගන ශිල්පියකු වෙනුවෙනුත් මම ගී ගැයුවා.

මින් පසුව දිගටම ඔබේ චිත‍්‍රපට වෙනුවෙන් ගීත ගයන්නේ ඔබමද?
එහෙම සීමා පනවාගන්න බැහැනේ. මගේ රංගනයට මමම ගයනවා නම් මට වෙනත් අය වෙනුවෙන් ගීත ගයන්න බැහැ. ඒත් මම එහෙම වෙන්න කැමති නැහැ. මගේ සහෝදර නළුවන් වෙනුවෙන් ගීත ගයන්නත් මම කැමතියි. කොහොමටත් මම ගායනයට කැමතියි. චිත‍්‍රපට පසුබිම් ගායනයට ගොඩාක් කැමතියි. ඒ හින්දා සීමාවන් පනවා ගන්න බැහැ.

සුරේෂ් හිතනවාද ඔබ චිත‍්‍රපට පසුබිම් ගායනයට සුදුසු බව?
මගේ ගායන හැකියාව ගැන මට ආත්ම විශ්වාසයක් තියෙනවා. පාසල් අවධියේ සමස්ත ලංකා ගායනා තරගවලින් පවා මම ජයග‍්‍රහණය ලබලා තියෙනවා. ඒ වගේම මම ගායනා කළ සිහින මනමාලි ගීතයට 2012 සුමති සම්මාන උළෙලෙහි හොඳම ශ‍්‍රව්‍ය දෘෂ්‍ය ගීතයට හිමි සම්මානය ලැබුණා. මගේ හඬ චිත‍්‍රපට පසුබිම් ගායනයට සුදුසු බව බොහෝ අය පවසලා තියෙනවා. අනෙක කිසිම අධ්‍යක්ෂවරයෙක් තමාගේ චිත‍්‍රපටයට නුසුදුසු හඬක් යොදාගන්නේ නැහැනේ. මගේ හඬ චිත‍්‍රපටවලට යොදාගන්න අධ්‍යක්ෂවරු තීරණය කළේ ඊට සුදුසු හින්දා. ඒ හේතු මත මම හිතනවා මගේ හඬ චිත‍්‍රපට පසුබිම් ගායනයට සුදුසු බව.

සුරේෂ් සංගීතය ගැන මෙතරම් උනන්දු හින්දාද ගායිකාවක් ජීවිතයට ළංකර ගන්න හදන්නේ?
(හිනැහී) යුග ගීතයක් ගයන්න වුණොත් ඒකට ගායිකාවක් අවශ්‍යයි.


මං අහන්නේ ජීවන යුග ගීතය ගැන?
දැන් නම් ජීවන යුග ගීතය ගයන්නත් කෙනෙක් ළංකර ගත යුතු කාලය උදාවෙලා කියලා මට හිතෙනවා.

රියැලිටි තරගයකින් ආපු නවක ගායිකාවකට දැනටමත් සුරේෂ්ගේ ජීවන යුග ගීතය ගයන්න ලැබිලා බවයි ආරංචි?
විවිධ ආරංචි පැතිරෙනවා. විවිධ කටකතා පැතිරෙනවා. හැබැයි ඉතින් ගින්නක් නැතිව දුමක් නගින්නේ නැහැ කියලත් කතාවක් තියෙනවා නේද? (හිනැහේ) කොහොම වුණත් මගේ ජීවිතයේ යම් වෙනසක් වුණොත් ඉදිරියේදී ඒ ගැන දැනගන්න පුළුවන්.

Share this