අනර්කලී ඇමෙරිකාවේදී විවාහ වෙයි

ජනප්‍රිය ආකර්ෂණීය නිළි අනර්කලී ආකර්ෂා පසුගියදා ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සෑන් මැරිනෝහි දී විවාහ වූවාය. ඇගේ අත ගත්තේ ඇමෙරිකාවේ පදිංචිව සිටින ශ්‍රී ලාංකික තරුණ ව්‍යාපාරිකයකු වන ඩිෂාන් ජයසිංහයි.


ඩිෂාන් ගේ පියා වන දොස්තර වෝල්ටර් ජයසිංහ කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස් වෛද්‍ය මධ්‍යස්ථානයේ හිමිකරු වශයෙන් කටයුතු කරයි.

ඩිෂාන් තම මවත් පියාත් සමඟ කුඩා කල සිට ම ඇමෙරිකාවේ හැදී වැඩී ඇති අතර ඩොල්ෆින් ඇකඩමි සහ ටේලර් කොලෙජ් යන විද්‍යාලයන්හි අධ්‍යාපනය ලැබූවෙකි.

මේ වනවිට ව්‍යාපාරිකයකු ලෙස කටයුතු කරන ඩිෂාන් ප්‍රයිමරි ෆ්‍රොවයිඩර් මැනේජ්මන්ට් සමාගමේ හිමිකරුවෙයි. ඩිෂාන් ගේ සොහොයුරු ගායකයකු ලෙස ඩි - ලෝන් නමින් ප්‍රකට ඩිලාන් ජයසිංහයි.

අනර්කලී ආකර්ෂා සහ ඩිෂාන් ජයසිංහ මුණ ගැසී ඇත්තේ ඇමෙරිකාවේදී ය‍. රෝයි ද සිල්වා සහ සුමනා අමරසිංහ ඇමෙරිකාවේ නිර්මාණය කළ ‘ඊට්ස් අ මැටර් ඔෆ් ලව්’ චිත්‍රපටයේ රූගත කිරීමක් සඳහා අනර්කලී ද කැටුව ගිය මොහොතකදී ය.

ඇමෙරිකාවේදී සිදුවූ මෙම විවාහ උත්සවයෙන් අනතුරුව ලබන ජනවාරි මස දී අනර්කලී ලංකාවට පැමිණ ඇගේ නෑදෑ හිත මිතුරන් සමඟ සාදයක් පැවැත්වීමට ද සැලසුම් කර ඇත‍.

අනර්කලී ගේ විවාහ දිවියට අපි සුබ පතමු.








Share this