ප්‍රේමලාල් ජයසේකර සැප්තැම්බර් 8 වන දා පාර්ලිමේන්තුවට?

මරණ දඬුවම නියම වී සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා ලබන මස 8 වන දින පාර්ලිමේන්තුවට කැඳවාගෙන එන ලෙස බන්ධනාගාර කොමසාරිස්වරයාට දැනුම්දී ඇති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.

ඔහු එසේ පැවසුවේ මරණ දඬුවම නියම වී සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතාට පාර්ලිමේන්තුවට පැමිණීමට අවස්ථාවක් හිමි නොවීම පිළිබඳ අද ප්‍රශ්න කෙරුණු අවස්ථාවේ දීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත් සී.දොළවත්ත මහතා විසින් මේ පිළිබඳව කථානායකවරයාගෙන් ප්‍රශ්න කර සිටියේය.

"රත්නපුර ජනතාව ප්‍රේමලාල් ජයසේකර මහතා පත්කළා. ඔහුව බන්ධනාගාරගත කරලා සිටිනවා. ඔහු අභියාචනයකුත් යොමු කර තිබෙන්නෙ. ඒ නිසා ඔහුව පාර්ලිමේන්තු ගේන්න නියෝග කරන්න.."යනුවෙන් ඔහු එහිදී පැවසීය.

ඊට පිළිතුරු ලබාද‍ෙමින් කථානායකවරයා මෙසේ පැවසීය.

"එතුමාගේ අභියාචනය පිළිබඳ කිසිම දැන්වීමක් මේ වන තුරු කථානායකවරයාට ලැබිලා නෑ. ඒක අධිකරණයෙන් ගතයුතු තීන්දුවක්. නමුත් එතුමාට ඡන්දේ දීපු ඡන්ද දායකයාගේ අයිතිය පැහැරගැනීම අපිත් එකඟ නැති කාරණයක්. වහාම මන්ත්‍රීතුමාව පාර්ලිමේන්තු ගේන්න කියන එක අපි මතක් කරනවා බන්ධනාගාරයට."

පසුව අද පාර්ලිමේන්තුව කල් තබන අවස්ථාවේ දී ද අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් නැවතත් ප්‍රේමලාල් ජයසේකර මහතා පාර්ලිමේන්තුවට කැඳවීම පිළිබඳ විමසා සිටියේය.

එහිදී කථානායකවරයා කියා සිටියේ ඔහුව ලබන මස 8 වන දින පාර්ලිමේන්තුවට කැඳවාගෙන එන ලෙස බන්ධනාගාර කොමසාරිස්වරයාට දැනුම්දී ඇති බවය.

රත්ගමදී අසුවුණේ නාකොටික් නිලධාරීන් පොඩි ලැසීට විකුණූ කුඩු


අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ගාල්ල, රත්ගම ප‍්‍රදේශයේදී ඊයේ අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 11 කට අධික වටිනාකමින් යුත් හෙරොයින් සහ T-56 ගිනි අවි ඇතුළු අවි ආයුධ තොගය බන්ධනාගාරගතව සිටින මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් විකිණීම සඳහා පාතාල නායක පොඩි ලැසීට ලබාදී තිබූ ඒවා බව විමර්ශනවලින් හෙළිව තිබේ.

මේ වනවිට බන්ධනාගාරගතව සිටින මත්ද්‍රව්‍ය නාශක අංශයේ උප පොලිස් පරීක්‍ෂක උදාර චතුරංග ඇතුළු නිලධාරීන් පිරිස පොඩි ලැසී නමැති පාතාල නායකයා කාලයක් තිස්සේ ඇසුරු කරමින් රුපියල් කෝටි ගණනක් වටිනා හෙරොයින් හා ආයුධ ජාවාරමේ නිරත වී ඇති බව හෙළිව තිබේ.

පොලිස් ආරංචි මාර්ග පවසන අන්දමට මෙම ජාවාරමට සම්බන්ධ මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිස රුපියල් කෝටි 30 කට අධික වටිනාකමින් යුත් හෙරොයින් කිලෝ ග‍්‍රෑම් 30 කට අධික ප‍්‍රමාණයක් අලෙවි කිරීම සඳහා පොඩි ලැසී නමැති පාතාල නායකයා වෙත ලබාදී ඇත.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඊයේ සොයාගනු ලැබුවේ එසේ අලෙවි කිරීම සඳහා ලබාදී තිබූ හෙරොයින්වලින් කොටසක් බව පොලිස් ආරංචි මාර්ග පවසති.

මෙම පාතාල නායකයා සතුව ඇති ඉතිරි හෙරොයින් තොගය ද අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදුකෙරේ.

 මත්ද්‍රව්‍ය ජාවාරම පිළිබඳ චෝදනා ලැබ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු අත්අඩංගුවේ සිටින මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන්ගෙන් ලද තොරතුරු අනුව මෙම හෙරොයින් හා ආයුධ රත්ගම හා තෙල්වත්ත ප‍්‍රදේශවල සඟවා තිබියදී සොයා ගැනිණි. මෙහිදී අත්අඩංගුවට ගත් අවි ආයුධ අතර ඔ-56 අවි දෙකක්, පිස්තෝල දෙකක් හා ජීව උණ්ඩ තොගයක් ඇති බව පොලිසිය කියයි.

කම්කරු පනත් සංශෝධනයට

දැනට ක්‍රියාත්මක කම්කරු පනත් පහක් වහා සංශෝධනය කිරීමට රජය තීරණය කර ඇත.

ඒ අනුව සේවක අර්ථසාධක අරමුදල, පාරිතෝෂිත දීමනා පනත, පඩි පාලක සභා ආඥා පනත, සාප්පු හා කාර්යාල සේවක පනත, සේවක වන්දි ආඥා පනත මෙසේ සංශෝධනය කිරීමට නියමිතය.

සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය කරමින් දායක මුදල් නොගෙවීමේ නඩු කම්කරු විනිශ්චය සභාවට යොමු කිරීමට බලය ලබාදෙනු ඇත.

පාරිතෝෂිත දීමනා ගෙවීම්වලට අදාළ නඩුව කම්කරු විනිශ්චය සභාවට යොමු කිරීමට ඉඩදෙමින් පාරිතෝෂිත දීමනා පනත සංශෝධනය කෙරේ.

කම්කරුවන්ට දැනට ගෙවන රුපියල් 5,50,500ක වන්දිය රුපියල් ලක්ෂ විස්ස දක්වා වැඩි කිරීම සහ එම වන්දි නඩු විභාග කිරීමේ බලය කම්කරු විනිශ්චය සභාවට පැවරීම සඳහා සේවක වන්දි ආඥා පනත සංශෝධනය කෙරේ.

කම්කරු නිලධාරීන් සමග ඇමැතිවරයා කම්කරු අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදී මේ බව අනාවරණය විය.

සාරධර්ම පිරිහීම් වැඩියෙන් සිදුවන්නේ දහම් පාසල් අධ්‍යාපනය නොලත් අයගෙන්ය - අගමැති මහින්ද රාජපක්ෂ

රටේ සාරධර්ම පිරිහීම් පවතින්නේ දහම් පාසල් අධ්‍යාපනය නොලත් පිරිස් වෙතින් බවත්, එනිසා දහම් පාසල් අධ්‍යාපනය අනිවාර්ය කළ යුතු බවත් අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

ඓතිහාසික කසාගල රජමහා විහාරස්ථානයේ පැවැති 125 වැනි දහම් පාසල් දින සැමරුම් ජාතික මහෝත්සවය අමතමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අග‍්‍රාමාත්‍යවරයා මෙසේද පැවසීය.

පාස්කු දින ප‍්‍රහාරය, ත‍්‍රස්තවාදී ගැටලූ ඇතුළු පසුගිය කාලයේ ඇති වූ රටේ විවිධ ප‍්‍රශ්න නැති කිරීමට දායකවන්නේ ආගමික අධ්‍යාපනයයි. කිසිදු ආගමක ප‍්‍රචණ්ඩත්වය උගන්වන්නේ නැහැ.

බෞද්ධ දහම පාසල් අප රට තුළ ආරම්භවීම සම්බන්ධයෙන් සන්තෝෂ වෙනවා. අධ්‍යාපනය වෙනුවෙන් අප රටට හඳුන්වා දුන් මිෂනාරි අධ්‍යාපන රටාව අප රටේ බෞද්ධ අධ්‍යාපනය විනාශවීමට බලපෑවා. බෞද්ධ දහම් පාසල් වැඩසටහන මෙරට ස්ථාපිත කිරීමේ උදාර වැඩසටහන ලෙස ගාල්ල වැලිවත්ත ශ‍්‍රී විජයානන්ද දහම් පාසල 1895 අගෝස්තු මස 03 දින ආරම්භ වුණා. එසේ ආරම්භ වූ දහම් පාසල් සඳහා රාජ්‍ය අනුග‍්‍රහය යටතේ දහම් පාසල් පෙළ පොත් ලබාදීම සිදු කළා. 1956 වර්ෂයේ බෞද්ධාගම සඳහා විශේෂ තැනක් ලැබුණා.

ලංකාවේ දරුවන් ලක්ෂ 22ක් 23ක් දහම් පාසල් අධ්‍යාපනය ලබනවා. ඒ පිළිබඳව එක්තරා විදිහක ආඩමබර වෙන්න පුළුවන්. සාරධර්මයෙන් පිරිපුන් දරුවන් පිරිසක් රටට දායාද කිරීම සඳහා දහම් පාසල් පද්ධතිය අප රටේ පවත්වාගෙන යාම පිණිස ගරුතර මහා සංඝරත්නයත්, ගිහි දහම් පාසල් ගුරු පිරිසත් කරන කැපවීම අප අගය කොට සැළකිය යුතුයි. කිසිදු වේතනයක් නොලබා ගරුතර මහා සංඝරත්නය ප‍්‍රමුඛ දහම් පාසල් ගුරුවරුන් ඉටු කරනු ලබන කැප කිරීම අපි අගය කළ යුතුයි.

ගෞරවනීය භික්ෂූන් වහන්සේලා විසින් සිදු කරනු ලබන මෙම කර්තව්‍ය අගය කරන්නේ නැත්නම් එය අඩුවක්. වර්තමානයේ අප රටේ උද්ගතව ඇති වැඩි ප‍්‍රමාණයක් සාරධර්ම පිරිහීම් පවතින්නේ දහම් පාසල් අධ්‍යාපනය නොලත් පිරිස් වෙතින්. ඒ නිසා දහම් පාසල් අධ්‍යාපනය අනිවාර්ය කළ යුතුයි. අපේ දරුවන්ගෙන් දහම් පාසල් යන ප‍්‍රමාණය බැලූවාම විශාල දරු පරපුරක් බෞද්ධ අධ්‍යාපනය ලබන්නේ නෑ. සතියකට විනාඩි 30 ක් හෝ 45 ක් බුද්ධාගම ඉගැන්නුවා කියා අපි සතුටු වෙනවානම් එය වරදක්.

දරුවන් දහම් පාසල් තුළට යොමු කිරීම මඟින් ගුණගරුක දරුවන් පිරිසක් අප රටට දායාද කළ හැකියි. මේ පිළිබඳ සිතිය යුතු අවශ්‍ය යුගය අද එළඹිලා තියෙනවා. දහම් පාසල් පද්ධතිය තවදුරටත් ශක්තිමත්ව හා විදිමත් ක‍්‍රමවේද සහිත පරිපාලනයක් ඔස්සේ ඉදිරියට පවත්වාගෙන යාමට මේ වනවිට දහම් පාසල් විෂය, අධ්‍යාපන අමාත්‍යාංශය යටතට පත්කර ඇති අතර, ඒ සඳහා අමාත්‍යවරයෙකු ද පත් කරලා තියෙනවා. එය දහම් පාසල අප රජය යටතේ ඉදිරියට ගෙන යාමේ පියවරක්.

රටේ ඉදිරි සෑම අවස්ථාවකදීම ගරුතර මහා සංඝරත්නයේ අවවාද හා අනුශාසනා මධ්‍යයේ සිදු කිරීමට අපි කටයුතු කරනවා. ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේදී එය පැහැදිලව ප‍්‍රකාශ කළා. අපි දහම් අධ්‍යාපනය දරුවන්ට ලබාදීමට කටයුතු කරනවා. ඒ තුළින් දහම් අධ්‍යාපනය පමණක් නෙමෙයි විනය ගරුක දරුවන් පිරිසක් බිහි කිරීම අපේ යුතුකමක්.බෞද්ධ අධ්‍යාපනය පමණක් නෙමෙයි අන් ආගම්වල දරුවන් ද ඔවුන්ගේ ධර්මය ඉගෙනීම සඳහා සහයෝගය ලබා දෙමින් කටයුතු කරනවා. ඇතැම් ආගම්වල ධර්මය පමණක් ඉගැන්වීම් කරනවා.

ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශවයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නායක ස්වාමීන් වහන්සේ, ශ‍්‍රී ලංකා අමරපුර සංඝ සභාවේ සභාපති අති පූජ්‍ය ගන්තුනේ අස්සජී මහනායක මාහිමිපාණන් වහන්සේ, ශ‍්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ දක්ෂිණ ලංකාවේ ප‍්‍රධාන සංඝ නායක ආචාර්ය ඕමල්පේ සෝභිත නායක ස්වාමීන් වහන්සේ, සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ නියෝජ්‍ය සභාපති මහාචාර්ය පූජ්‍ය තුඹුල්ලේ සීලක්ඛන්ධ නායක ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය මේ අවස්ථාව සඳහා වැඩම කළ වදාළහ.
 වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ, පරිසර අමාත්‍ය මහින්ද අමරවීර, දහම් පාසල්, පිරිවෙන් භික්ෂු අධ්‍යාපන හා බෞද්ධ විශ්වවිද්‍යාල රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩ, ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඞී. වී. චානක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී අජිත් රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත‍්‍රී වෛද්‍ය උපුල් ගලප්පත්ති, දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ හා බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම් දේශබන්ධු මහාචාර්ය කපිල ගුණවර්ධන යන මහත්වරුද දකුණු පළාත් ලේකම් හා දිස්ත‍්‍රික් ලේකම් ප‍්‍රමුඛ රාජ්‍ය නිලධාරීන්, දහම් පාසල් ගුරුභවතුන් හා දුවා දරුවන් මේ අවස්ථාව සඳහා සහභාගි වූහ.

Source : Divaina.com

ලක්ෂ 30ක බඩුත් සමඟ ‘කුඩු ලොක්කියක්’ අල්ලයි

වැලිකඩ බන්ධනාගාරයේ සිටත් ඕමානයේ සිටත් මෙහෙයවන බව කියන මත්කුඩු ජාලයකට සම්බන්ධ කාන්තාවක් ඇතුළු සිවුදෙනකු ලක්ෂ 30කට අධික හෙරොයින්  සමඟ කලපළුවාව හා මාලඹේ ප්‍රදේශවලදී අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය පවසයි. 

මත්කුඩු ග්‍රෑම් 170ක්, ජංගම දුරකථන 6ක්, මෝටර් රථයක් හා ත්‍රිරෝද රථයක්ද පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

ඕමානයේ වෙසෙන මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියගේ කුඩු ජාවාරම් කරන සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු ළඟ තිබී 21 දින කිසියම් බැංකු ගිණුමකට රුපියල් ලක්ෂ 22කට අධික මුදලක් තැන්පත් කළ රිසිට් පතක් ද තිබී හමුවී ඇත. 

සැකකරු 21දා මාලබේ ප්‍රදේශයේදී රුපියල් ලක්ෂ 10ක හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් බවත් සැකකාර කාන්තාව රුපියල් ලක්ෂ 20කට අධික හොරොයින් තොගයක් සමඟ 20දා කලපළුවාවේදී අත්අඩංගුවට ගෙන ඇති බවත් පොලිසිය කියයි.

සැකකාරිය සම්බන්ධයෙන් ලැබුණු තොරතුරක් මත කලපළුවාවේ ප්‍රදේශයේදී ඇය අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඇයගේ අත්බෑගයේ චොකලට් විස්කෝතු පෙට්ටියක් තුළ හෙරොයින් ග්‍රෑම් 101ක ප්‍රමාණයක් අසුරා තිබූ බවද උසස් පොලිස් නිලධාරියෙක් කීය.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඇය සතුව රුපියල් 30,000ක මුදලක් ද තිබූ බව පොලිසිය කියයි.  

සැකකාරියගේ සැමියා වැලිකඩ බන්ධනාගාරයේ රිමාන්ඩ් භාරයේ සිටින බවත් ඔහු දුරකථනයෙන් ලබාදෙන ඇණවුම් අනුව සැකකාරිය අදාළ ස්ථානවලට හොරෙයින්  බෙදා හරින බවත් එම උසස් පොලිස් නිලධාරියා පැවැසීය. 

අත්අඩංගුවට ගත් සැකකාරිය බොරැල්ල මැගසින් පාරේ පදිංචි තිස් එක් හැවිරිදි කාන්තාවකි. හෙරොයින් බෙදාහැරීම සඳහා ඇය විසින් යොදාගනු ලබන මෝටර් රථයක්ද පොලිසිය භාරයට ගෙන ඇත. 

හෙරොයින් ජාවාරම සම්බන්ධයෙන් මීට පෙර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන ඇති සැකකාරිය එම නඩුව සම්බන්ධයෙන් ඇප මත සිටින බවද පොලිසිය කියයි. 

මේ අතර ත්‍රිරෝද රථයකින් හෙරොයින්  ජාවාරමේ නිරතව සිටි අනෙක් සැකකරු  හොරොයින් ග්‍රෑම් 30ක් සමඟ 21දා පෙරවරුවේ පොලිස් අත්අඩංගුවට ගෙන තිබිණි.

සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු මාලඹේ ප්‍රදේශයේ බැංකුවකින් පුද්ගලයකුගේ  ගිණුමකට රුපියල් ලක්ෂ 22කට අධික මුදලක් බැංකු ගත කළ රිසිට්පතක් තිබී ඇත. හොරෙයින් ජාවාරමෙන් උපයා ගන්නා මුදල මොහු කිසියම් ජාවාරම්කරුවකුගේ  ගිණුමකට තැන්පත් කරන්නට ඇති බවට පොලිසිය සැක කරයි.

සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී දැනට ඕමානයේ වෙසෙන මුතු නමැති කාන්තාවගේ හෙරොයින් යොදාගෙන ජාවාරම් කරන බවට තොරතුරු හෙළි වූ බවද පොලිසිය පවසයි. 

වැලිකඩ බන්ධනාගාර කැරැල්ලේදී ඝාතනයට  ලක් වූ ‘කළු තුෂාර’ නමැති සංවිධානාත්මක අපරාධකරුගේ කල්ලිය සමඟද මෙම සැකකරුගේ සම්බන්ධයක් ඇති බවට තොරතුරු හෙළිවී ඇතැයි පොලිසිය කියයි. 

මෙම බැංකු ගිණුම් සහ හෙරොයින්  ජාවාරම සම්බන්ධයෙන් තවදුරටත් කරුණු හෙළි කර ගැනීම සඳහා සැකකරු සහ සැකකාරිය රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරගෙන යයි. 

බස්නාහිර පළාත භාර ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ බස්නාහිර-දකුණ නියෝජ්‍ය පොලිස්පති මහතා යටතේ නුගේගොඩ කොට්ඨාස භාර පොලිස් අධිකාරි ප්‍රදීප් රත්නායක, සහකාර පොලිස් අධිකාරි මාලන් පෙරේරා යන මහත්වරුන්ගේ උපදෙස් මත තලංගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නලින්ද දිල්රුක් මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් පරීක්ෂක ප්‍රියංකර, කොස්තාපල්වරුන් වන දයාවංශ (68571), මුණසිංහ (81624), චාමික (82071), කුමාර (84768), කුමාර (91392), සෙනවිරත්න (93404), පොලිස් කොස්තාපල්වරියන් වන  සිල්වා (11025),  කල්පනී (10755) යන මහත්ම මහත්මීහු වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යති.

Source : Mawbima News paper

සහරාන්ගේ ඥාතීන් සැලැසුම් කළ මරාගෙන මැරෙන ප්‍රහාර මාලාවක තොරතුරු හෙළිවුණා

පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාර මාලාව සිදුකළ ත්‍රස්තයන්ගේ සමීපතම ඥාතීන් වන පිරිමි පුද්ගලයන් 11ක් සහ කාන්තාවන් 6ක් එක්ව පාස්කු ප්‍රහාර මාලාවෙන් පසුව මෙරට තුළ මරාගෙන මැරෙන දෙවැනි ප්‍රහාර මාලාවක්  සැලැසුම් කර තිබූ බවට එවකට රාජ්‍ය බුද්ධි සේවයට තොරතුරු ලැබී තිබුණු බව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන පාස්කු ප්‍රහාර මාලාව විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ සාක්ෂි දෙමින් ඊයේ (24දා) පැවැසීය.

අදාළ පිරිස හමුදා ඇ¾දුමින් සැරසී වෑන් රථ යොදාගෙන එම ප්‍රහාරය දියත් කිරීමට බලාපොරොත්තු වන බවට තොරතුරු ලැබුණු බවත් මඩකළපුව ප්‍රදේශය ඇතුළු ස්ථාන 05ක් ඉලක්ක කර එම ප්‍රහාර එල්ල විය හැකි බවත් එම ප්‍රහාර එල්ල වීමෙන් පසුව එම ස්ථානයට පැමිණෙන පුද්ගලයන් ඉලක්ක කරගෙන තවත් ප්‍රහාර එල්ල විය හැකි බවත් අදාළ බුද්ධි තොරතුරේ අන්තර්ගත වී තිබුණු බවත් හිටපු රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂවරයා කීය.

එමෙන්ම අදාළ බුද්ධි තොරතුර මඟින් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය, දිවයින පුරා පිහිටි රෝහල්, සාප්පු සංකීර්ණ, සුපිරි වෙළෙඳසල් සහ  පොලිස් ස්ථාන ඉලක්ක වී ඇති බවට තොරතුරු අනාවරණය කර තිබූ බවත් සාක්ෂිකරු 17 වැනි දිනටත් කොමිසම හමුවේ සාක්ෂි දෙමින් කීය.

එම තොරතුරු මත පදනම් වී රාජ්‍ය බුද්ධි සේවය සිදුකළ විමර්ශනවලදී මාතලේ ප්‍රදේශයේ ජීවත් වූ සහරාන් හෂීම්ගේ ප්‍රබල අනුගාමිකයකු වූ මොහොමඩ් සහරාන් ෆස්ලූර් රහුමාන් නමැති පුද්ගලයකු පිළිබඳව තොරතුරු අනාවරණය කරගත් බවත් වැඩිදුර සොයාබැලීම්වලදී එම පුද්ගලයා පාස්කු ඉරිදා දින බෝම්බ ප්‍රහාරයේ වගකීම ඉස්ලාම් රාජ්‍ය සංවිධානය භාරගැනීමේ සිදුවීමට අදාළව සම්බන්ධීකරණ කටයුතු කළ පුද්ගලයා බවට අනාවරණය වූ බවත් ඔහු කොමිසම හමුවේ සඳහන් කළේය.

මේ අනුව දෙවැනි ප්‍රහාරයක් වළක්වාගැනීම සඳහා පෙර කී ප්‍රහාර සැලැසුම් පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරමින්, ඊට අදාළව සිදුකළ විමර්ශනවල කරුණුද ඇතුළත් කර විශේෂ වාර්තාවක් සැකසීමට තමා එවකට කටයුතු කළ බවත් සහරාන් හෂීම් මියගියද ඔහුගේ ජාලය ඒ වන විටත් ක්‍රියාත්මක වෙමින් පැවැති බවට දිගින් දිගටම තොරතුරු අනාවරණය වූ බැවින්  එම ජාලය අක්‍රිය කිරීම මෙහි ප්‍රමුඛ අරමුණ වූ බවත් සාක්ෂිකරු කොමිසම හමුවේ කීය.

ඒ අනුව පසුගිය වසරේ අප්‍රේල් 24 වැනිදා එවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත පෙර කී එම විශේෂ වාර්තාව යොමු කිරීමට තමන් පියවර ගත් බවත් පැවැසූ සාක්ෂිකරු මීට සමගාමීව ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ගද කඩිනමින් ගන්නා මෙන් එම වාර්තාවේම ඇතුළත් කර තිබූ බවත් කීය.

එමෙන්ම මීට සමගාමීව ඉස්ලාම් රාජ්‍ය සංවිධානය විසින් ඉදිරියේදී ශ්‍රී  ලංකාව තුළ එල්ල කළ හැකි බවට විශ්වාස කළ ප්‍රහාර පිළිබඳව තොරතුරු සහ ඉස්ලාම් ත්‍රස්තවාදයේ මෙරට ව්‍යාප්තිය පිළිබඳ බුද්ධි අංශ අනාවරණය කරගත් තොරතුරු මෙන්ම ජලාල් කිටාල් හෙවත් රිල්වාන් හෂීම් පිළිබඳවද තොරතුරු ඇතුළත් කර සකස් කරන ලද විශේෂ ලිපියක් එදිනම ජේ‍යෂ්ඨ පොලිස් නිලධාරීන් වෙත යොමුකිරීමට කටයුතු කළ බවත් හිටපු රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂවරයා කොමිසම හමුවේ කීය.

එමෙන්ම පෙර කී ලිපි දෙකම රාජ්‍ය බුද්ධි සේවය විසින් අදාළ නිලධාරීන්ට අමතරව ආරක්ෂක අමාත්‍යාංශයට, පොලිස්පතිවරයාට, ජාතික බුද්ධි ප්‍රධානිට මෙන්ම ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානිට යොමු කිරීමට ඔහු කටයුතු කළ බවත් සාක්ෂිකරු පැවැසීය.

මෙහිදී කොමිසමේ සාමාජිකයන් විසින් සාක්ෂිකරුගෙන් පෙරළා විමසීමක් කළේ රාජ්‍ය  බුද්ධි සේවය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානිවරයාටත් තොරතුරු දීමට බැඳී සිටිනවාද යන්නයි.

ඊට පිළිතුරු දෙමින් සාක්ෂිකරු පැවැසුවේ 2019 අප්‍රේල් 22 වැනිදා පැවැති ජාතික ආරක්ෂක කවුන්සිල රැස්වීමේදී රාජ්‍ය බුද්ධි සේවය විසින් යොමු කරන වාර්තා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි වෙතද යොමු කරන ලෙස තමන්ට දැනුම් දී තිබූ බවයි.

එහිදී අදාළ ජාතික ආරක්ෂක කවුන්සිල රැස්වීමට සහභාගි වූයේ කවුද යන්න අතිරේක සොලිසිටර් ජනරාල්වරිය විමසීමක් කළ අතර ඊට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, එවකට ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, එවක ජනාධිපති ලේකම්වරයා වැනි අය ඊට සහභාගි වූ  බව සාක්ෂිකරු පිළිතුරු දෙමින් ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හෝ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන අදාළ රැස්වීමට සහභාගි වූ බවක් තම මතකයේ නොමැති බවත් කොමිසම හමුවේ සඳහන් කළ සාක්ෂිකරු සුවිශේෂී සිදුවීමක් ලෙසින් ඒ වනවිටත් 2018 ඔක්තෝබර් මාසයෙන් පසුව ජාතික ආරක්ෂක කවුන්සිලයට සහභාගි නොවූ එවකට පොලිස්පති පූජිත් ජයසුන්දර එදින එම රැස්වීමට සහභාගි වී සිටීම තමාට විශේෂයෙන්ම මතක බවත් පැවැසීය. 

එමෙන්ම මීට අමතරව යම්කිසි කණ්ඩායමක් මුස්ලිම් පල්ලි ඉලක්ක කරගෙන ප්‍රහාරයක් දියත් කිරීමේ හැකියාවක් පැවැති බැවින් ඒ පිළිබඳව අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා මෙන් දන්වා එවකට හිටපු පොලිස්පතිවරයාගේ මාණ්ඩලික නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් උසස් පොලිස් නිලධාරීන් වෙත යොමු කරන ලද ලිපියක් කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කළ සාක්ෂිකරු එම ලිපියේ අන්තර්ගතය මඟින් එවැනි ප්‍රහාරයක අවදානම පිළිබඳව මවුලවිවරුන් හමුවී පෞද්ගලිකව ඔවුන් දැනුවත් කරන ලෙසට පොලිස්පතිවරයා විසින් පොලිස් නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙන බවද ලිපිය කොමිසම හමුවේ කියවමින් සාක්ෂිකරු සඳහන් කළේය.

එමෙන්ම සිය සාක්ෂි දීම අතරතුර රාජ්‍ය බුද්ධි සේවය විසින් ආගමික අන්තවාදය පිළිබඳව විවිධ ආයතනවලට යොමු කළ තොරතුරු සම්බන්ධයෙන් තමන් රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ කාලය තුළ කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණු බවද පැවැසූ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂවරයා අවස්ථා ගණනාවකදී රාජ්‍ය බුද්ධි සේවය විසින් නැඟෙනහිර පළාතේ වර්ධනය වෙමින් තිබූ අන්තවාදී ක්‍රියාකාරකම් පිළිබඳව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය, ජාතික ආරක්ෂක කවුන්සිලය සහ පොලිසිය වැනි විවිධ ආයතනවලට තොරතුරු වාර්තා කර තිබුණද ඔවුන් කිසිවෙක් ඒ සම්බන්ධයෙන් ගත් ක්‍රියාමාර්ගයක් ගැන තමාට වාර්තා නොවූ බවත් එය කනගාටුවට කරුණක් බවත් කොමිසම හමුවේ සඳහන් කළේය.

එමෙන්ම පාස්කු ඉරිදා දින බෝම්බ ප්‍රහාරවලින් පසු දිනක හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තමා අමතා අන්තවාදී කටයුතු සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවය දැනුවත්ව සිටියේද? නැද්ද? යන්න තමන්ගෙන් ප්‍රශ්න කළ බවත් ඒ වනවිටත් සියල්ල සිදුවී අවසන්ව තිබූ බවත් ඔහු කොමිසම හමුවේ සංවේදී වෙමින් පැවැසීය.

පාස්කු දින ප්‍රහාර මාලාවෙන් පසුව සියලු පාර්ශ්වයන් බුද්ධි තොරතුරු නිසි ලෙස හුවමාරු කර නොගත් බව පවසමින් රාජ්‍ය බුද්ධි සේවය විවේචනය කළද, රාජ්‍ය බුද්ධි සේවය සිය කාර්ය භාරය නිසි ලෙස ඉටු කළ බවත් වැඩිදුරටත් කොමිසම හමුවේ සාක්ෂි දෙමින් හිටපු රාජ්‍ය  බුද්ධි අධ්‍යක්ෂවරයා කීය.


උපුටා ගැනීම මව්බිම පුවත්පතිනි.

Salani Jayawardana Photoshoot

නිරූපණ ශිල්පිනී ශලනි ජයවර්ධනගේ නවතම ඡායාරූප එකතුවක් පහතින් නරඹන්න. 

Model : Salani Jayawardana
Photography - Githendra Liyanage


Oshaka Gayani Photo Collection

නිරූපණ ශිල්පිනී ඔසාකා ගයනිගේ ඡායාරූප එකතුවක් පහතින් නරඹන්න.


Model : Oshaka Gayani 
Photography: Imesh Nuwandaka Photography