ප්‍රේමලාල් ජයසේකර සැප්තැම්බර් 8 වන දා පාර්ලිමේන්තුවට?

මරණ දඬුවම නියම වී සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා ලබන මස 8 වන දින පාර්ලිමේන්තුවට කැඳවාගෙන එන ලෙස බන්ධනාගාර කොමසාරිස්වරයාට දැනුම්දී ඇති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.

ඔහු එසේ පැවසුවේ මරණ දඬුවම නියම වී සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතාට පාර්ලිමේන්තුවට පැමිණීමට අවස්ථාවක් හිමි නොවීම පිළිබඳ අද ප්‍රශ්න කෙරුණු අවස්ථාවේ දීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත් සී.දොළවත්ත මහතා විසින් මේ පිළිබඳව කථානායකවරයාගෙන් ප්‍රශ්න කර සිටියේය.

"රත්නපුර ජනතාව ප්‍රේමලාල් ජයසේකර මහතා පත්කළා. ඔහුව බන්ධනාගාරගත කරලා සිටිනවා. ඔහු අභියාචනයකුත් යොමු කර තිබෙන්නෙ. ඒ නිසා ඔහුව පාර්ලිමේන්තු ගේන්න නියෝග කරන්න.."යනුවෙන් ඔහු එහිදී පැවසීය.

ඊට පිළිතුරු ලබාද‍ෙමින් කථානායකවරයා මෙසේ පැවසීය.

"එතුමාගේ අභියාචනය පිළිබඳ කිසිම දැන්වීමක් මේ වන තුරු කථානායකවරයාට ලැබිලා නෑ. ඒක අධිකරණයෙන් ගතයුතු තීන්දුවක්. නමුත් එතුමාට ඡන්දේ දීපු ඡන්ද දායකයාගේ අයිතිය පැහැරගැනීම අපිත් එකඟ නැති කාරණයක්. වහාම මන්ත්‍රීතුමාව පාර්ලිමේන්තු ගේන්න කියන එක අපි මතක් කරනවා බන්ධනාගාරයට."

පසුව අද පාර්ලිමේන්තුව කල් තබන අවස්ථාවේ දී ද අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් නැවතත් ප්‍රේමලාල් ජයසේකර මහතා පාර්ලිමේන්තුවට කැඳවීම පිළිබඳ විමසා සිටියේය.

එහිදී කථානායකවරයා කියා සිටියේ ඔහුව ලබන මස 8 වන දින පාර්ලිමේන්තුවට කැඳවාගෙන එන ලෙස බන්ධනාගාර කොමසාරිස්වරයාට දැනුම්දී ඇති බවය.

Share this