ලක්ෂ 30ක බඩුත් සමඟ ‘කුඩු ලොක්කියක්’ අල්ලයි

වැලිකඩ බන්ධනාගාරයේ සිටත් ඕමානයේ සිටත් මෙහෙයවන බව කියන මත්කුඩු ජාලයකට සම්බන්ධ කාන්තාවක් ඇතුළු සිවුදෙනකු ලක්ෂ 30කට අධික හෙරොයින්  සමඟ කලපළුවාව හා මාලඹේ ප්‍රදේශවලදී අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය පවසයි. 

මත්කුඩු ග්‍රෑම් 170ක්, ජංගම දුරකථන 6ක්, මෝටර් රථයක් හා ත්‍රිරෝද රථයක්ද පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

ඕමානයේ වෙසෙන මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියගේ කුඩු ජාවාරම් කරන සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු ළඟ තිබී 21 දින කිසියම් බැංකු ගිණුමකට රුපියල් ලක්ෂ 22කට අධික මුදලක් තැන්පත් කළ රිසිට් පතක් ද තිබී හමුවී ඇත. 

සැකකරු 21දා මාලබේ ප්‍රදේශයේදී රුපියල් ලක්ෂ 10ක හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් බවත් සැකකාර කාන්තාව රුපියල් ලක්ෂ 20කට අධික හොරොයින් තොගයක් සමඟ 20දා කලපළුවාවේදී අත්අඩංගුවට ගෙන ඇති බවත් පොලිසිය කියයි.

සැකකාරිය සම්බන්ධයෙන් ලැබුණු තොරතුරක් මත කලපළුවාවේ ප්‍රදේශයේදී ඇය අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඇයගේ අත්බෑගයේ චොකලට් විස්කෝතු පෙට්ටියක් තුළ හෙරොයින් ග්‍රෑම් 101ක ප්‍රමාණයක් අසුරා තිබූ බවද උසස් පොලිස් නිලධාරියෙක් කීය.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඇය සතුව රුපියල් 30,000ක මුදලක් ද තිබූ බව පොලිසිය කියයි.  

සැකකාරියගේ සැමියා වැලිකඩ බන්ධනාගාරයේ රිමාන්ඩ් භාරයේ සිටින බවත් ඔහු දුරකථනයෙන් ලබාදෙන ඇණවුම් අනුව සැකකාරිය අදාළ ස්ථානවලට හොරෙයින්  බෙදා හරින බවත් එම උසස් පොලිස් නිලධාරියා පැවැසීය. 

අත්අඩංගුවට ගත් සැකකාරිය බොරැල්ල මැගසින් පාරේ පදිංචි තිස් එක් හැවිරිදි කාන්තාවකි. හෙරොයින් බෙදාහැරීම සඳහා ඇය විසින් යොදාගනු ලබන මෝටර් රථයක්ද පොලිසිය භාරයට ගෙන ඇත. 

හෙරොයින් ජාවාරම සම්බන්ධයෙන් මීට පෙර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන ඇති සැකකාරිය එම නඩුව සම්බන්ධයෙන් ඇප මත සිටින බවද පොලිසිය කියයි. 

මේ අතර ත්‍රිරෝද රථයකින් හෙරොයින්  ජාවාරමේ නිරතව සිටි අනෙක් සැකකරු  හොරොයින් ග්‍රෑම් 30ක් සමඟ 21දා පෙරවරුවේ පොලිස් අත්අඩංගුවට ගෙන තිබිණි.

සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු මාලඹේ ප්‍රදේශයේ බැංකුවකින් පුද්ගලයකුගේ  ගිණුමකට රුපියල් ලක්ෂ 22කට අධික මුදලක් බැංකු ගත කළ රිසිට්පතක් තිබී ඇත. හොරෙයින් ජාවාරමෙන් උපයා ගන්නා මුදල මොහු කිසියම් ජාවාරම්කරුවකුගේ  ගිණුමකට තැන්පත් කරන්නට ඇති බවට පොලිසිය සැක කරයි.

සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී දැනට ඕමානයේ වෙසෙන මුතු නමැති කාන්තාවගේ හෙරොයින් යොදාගෙන ජාවාරම් කරන බවට තොරතුරු හෙළි වූ බවද පොලිසිය පවසයි. 

වැලිකඩ බන්ධනාගාර කැරැල්ලේදී ඝාතනයට  ලක් වූ ‘කළු තුෂාර’ නමැති සංවිධානාත්මක අපරාධකරුගේ කල්ලිය සමඟද මෙම සැකකරුගේ සම්බන්ධයක් ඇති බවට තොරතුරු හෙළිවී ඇතැයි පොලිසිය කියයි. 

මෙම බැංකු ගිණුම් සහ හෙරොයින්  ජාවාරම සම්බන්ධයෙන් තවදුරටත් කරුණු හෙළි කර ගැනීම සඳහා සැකකරු සහ සැකකාරිය රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරගෙන යයි. 

බස්නාහිර පළාත භාර ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ බස්නාහිර-දකුණ නියෝජ්‍ය පොලිස්පති මහතා යටතේ නුගේගොඩ කොට්ඨාස භාර පොලිස් අධිකාරි ප්‍රදීප් රත්නායක, සහකාර පොලිස් අධිකාරි මාලන් පෙරේරා යන මහත්වරුන්ගේ උපදෙස් මත තලංගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නලින්ද දිල්රුක් මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් පරීක්ෂක ප්‍රියංකර, කොස්තාපල්වරුන් වන දයාවංශ (68571), මුණසිංහ (81624), චාමික (82071), කුමාර (84768), කුමාර (91392), සෙනවිරත්න (93404), පොලිස් කොස්තාපල්වරියන් වන  සිල්වා (11025),  කල්පනී (10755) යන මහත්ම මහත්මීහු වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යති.

Source : Mawbima News paper

Share this