සහරාන්ගේ ඥාතීන් සැලැසුම් කළ මරාගෙන මැරෙන ප්‍රහාර මාලාවක තොරතුරු හෙළිවුණා

පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාර මාලාව සිදුකළ ත්‍රස්තයන්ගේ සමීපතම ඥාතීන් වන පිරිමි පුද්ගලයන් 11ක් සහ කාන්තාවන් 6ක් එක්ව පාස්කු ප්‍රහාර මාලාවෙන් පසුව මෙරට තුළ මරාගෙන මැරෙන දෙවැනි ප්‍රහාර මාලාවක්  සැලැසුම් කර තිබූ බවට එවකට රාජ්‍ය බුද්ධි සේවයට තොරතුරු ලැබී තිබුණු බව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන පාස්කු ප්‍රහාර මාලාව විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ සාක්ෂි දෙමින් ඊයේ (24දා) පැවැසීය.

අදාළ පිරිස හමුදා ඇ¾දුමින් සැරසී වෑන් රථ යොදාගෙන එම ප්‍රහාරය දියත් කිරීමට බලාපොරොත්තු වන බවට තොරතුරු ලැබුණු බවත් මඩකළපුව ප්‍රදේශය ඇතුළු ස්ථාන 05ක් ඉලක්ක කර එම ප්‍රහාර එල්ල විය හැකි බවත් එම ප්‍රහාර එල්ල වීමෙන් පසුව එම ස්ථානයට පැමිණෙන පුද්ගලයන් ඉලක්ක කරගෙන තවත් ප්‍රහාර එල්ල විය හැකි බවත් අදාළ බුද්ධි තොරතුරේ අන්තර්ගත වී තිබුණු බවත් හිටපු රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂවරයා කීය.

එමෙන්ම අදාළ බුද්ධි තොරතුර මඟින් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය, දිවයින පුරා පිහිටි රෝහල්, සාප්පු සංකීර්ණ, සුපිරි වෙළෙඳසල් සහ  පොලිස් ස්ථාන ඉලක්ක වී ඇති බවට තොරතුරු අනාවරණය කර තිබූ බවත් සාක්ෂිකරු 17 වැනි දිනටත් කොමිසම හමුවේ සාක්ෂි දෙමින් කීය.

එම තොරතුරු මත පදනම් වී රාජ්‍ය බුද්ධි සේවය සිදුකළ විමර්ශනවලදී මාතලේ ප්‍රදේශයේ ජීවත් වූ සහරාන් හෂීම්ගේ ප්‍රබල අනුගාමිකයකු වූ මොහොමඩ් සහරාන් ෆස්ලූර් රහුමාන් නමැති පුද්ගලයකු පිළිබඳව තොරතුරු අනාවරණය කරගත් බවත් වැඩිදුර සොයාබැලීම්වලදී එම පුද්ගලයා පාස්කු ඉරිදා දින බෝම්බ ප්‍රහාරයේ වගකීම ඉස්ලාම් රාජ්‍ය සංවිධානය භාරගැනීමේ සිදුවීමට අදාළව සම්බන්ධීකරණ කටයුතු කළ පුද්ගලයා බවට අනාවරණය වූ බවත් ඔහු කොමිසම හමුවේ සඳහන් කළේය.

මේ අනුව දෙවැනි ප්‍රහාරයක් වළක්වාගැනීම සඳහා පෙර කී ප්‍රහාර සැලැසුම් පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරමින්, ඊට අදාළව සිදුකළ විමර්ශනවල කරුණුද ඇතුළත් කර විශේෂ වාර්තාවක් සැකසීමට තමා එවකට කටයුතු කළ බවත් සහරාන් හෂීම් මියගියද ඔහුගේ ජාලය ඒ වන විටත් ක්‍රියාත්මක වෙමින් පැවැති බවට දිගින් දිගටම තොරතුරු අනාවරණය වූ බැවින්  එම ජාලය අක්‍රිය කිරීම මෙහි ප්‍රමුඛ අරමුණ වූ බවත් සාක්ෂිකරු කොමිසම හමුවේ කීය.

ඒ අනුව පසුගිය වසරේ අප්‍රේල් 24 වැනිදා එවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත පෙර කී එම විශේෂ වාර්තාව යොමු කිරීමට තමන් පියවර ගත් බවත් පැවැසූ සාක්ෂිකරු මීට සමගාමීව ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ගද කඩිනමින් ගන්නා මෙන් එම වාර්තාවේම ඇතුළත් කර තිබූ බවත් කීය.

එමෙන්ම මීට සමගාමීව ඉස්ලාම් රාජ්‍ය සංවිධානය විසින් ඉදිරියේදී ශ්‍රී  ලංකාව තුළ එල්ල කළ හැකි බවට විශ්වාස කළ ප්‍රහාර පිළිබඳව තොරතුරු සහ ඉස්ලාම් ත්‍රස්තවාදයේ මෙරට ව්‍යාප්තිය පිළිබඳ බුද්ධි අංශ අනාවරණය කරගත් තොරතුරු මෙන්ම ජලාල් කිටාල් හෙවත් රිල්වාන් හෂීම් පිළිබඳවද තොරතුරු ඇතුළත් කර සකස් කරන ලද විශේෂ ලිපියක් එදිනම ජේ‍යෂ්ඨ පොලිස් නිලධාරීන් වෙත යොමුකිරීමට කටයුතු කළ බවත් හිටපු රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂවරයා කොමිසම හමුවේ කීය.

එමෙන්ම පෙර කී ලිපි දෙකම රාජ්‍ය බුද්ධි සේවය විසින් අදාළ නිලධාරීන්ට අමතරව ආරක්ෂක අමාත්‍යාංශයට, පොලිස්පතිවරයාට, ජාතික බුද්ධි ප්‍රධානිට මෙන්ම ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානිට යොමු කිරීමට ඔහු කටයුතු කළ බවත් සාක්ෂිකරු පැවැසීය.

මෙහිදී කොමිසමේ සාමාජිකයන් විසින් සාක්ෂිකරුගෙන් පෙරළා විමසීමක් කළේ රාජ්‍ය  බුද්ධි සේවය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානිවරයාටත් තොරතුරු දීමට බැඳී සිටිනවාද යන්නයි.

ඊට පිළිතුරු දෙමින් සාක්ෂිකරු පැවැසුවේ 2019 අප්‍රේල් 22 වැනිදා පැවැති ජාතික ආරක්ෂක කවුන්සිල රැස්වීමේදී රාජ්‍ය බුද්ධි සේවය විසින් යොමු කරන වාර්තා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි වෙතද යොමු කරන ලෙස තමන්ට දැනුම් දී තිබූ බවයි.

එහිදී අදාළ ජාතික ආරක්ෂක කවුන්සිල රැස්වීමට සහභාගි වූයේ කවුද යන්න අතිරේක සොලිසිටර් ජනරාල්වරිය විමසීමක් කළ අතර ඊට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, එවකට ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, එවක ජනාධිපති ලේකම්වරයා වැනි අය ඊට සහභාගි වූ  බව සාක්ෂිකරු පිළිතුරු දෙමින් ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හෝ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන අදාළ රැස්වීමට සහභාගි වූ බවක් තම මතකයේ නොමැති බවත් කොමිසම හමුවේ සඳහන් කළ සාක්ෂිකරු සුවිශේෂී සිදුවීමක් ලෙසින් ඒ වනවිටත් 2018 ඔක්තෝබර් මාසයෙන් පසුව ජාතික ආරක්ෂක කවුන්සිලයට සහභාගි නොවූ එවකට පොලිස්පති පූජිත් ජයසුන්දර එදින එම රැස්වීමට සහභාගි වී සිටීම තමාට විශේෂයෙන්ම මතක බවත් පැවැසීය. 

එමෙන්ම මීට අමතරව යම්කිසි කණ්ඩායමක් මුස්ලිම් පල්ලි ඉලක්ක කරගෙන ප්‍රහාරයක් දියත් කිරීමේ හැකියාවක් පැවැති බැවින් ඒ පිළිබඳව අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා මෙන් දන්වා එවකට හිටපු පොලිස්පතිවරයාගේ මාණ්ඩලික නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් උසස් පොලිස් නිලධාරීන් වෙත යොමු කරන ලද ලිපියක් කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කළ සාක්ෂිකරු එම ලිපියේ අන්තර්ගතය මඟින් එවැනි ප්‍රහාරයක අවදානම පිළිබඳව මවුලවිවරුන් හමුවී පෞද්ගලිකව ඔවුන් දැනුවත් කරන ලෙසට පොලිස්පතිවරයා විසින් පොලිස් නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙන බවද ලිපිය කොමිසම හමුවේ කියවමින් සාක්ෂිකරු සඳහන් කළේය.

එමෙන්ම සිය සාක්ෂි දීම අතරතුර රාජ්‍ය බුද්ධි සේවය විසින් ආගමික අන්තවාදය පිළිබඳව විවිධ ආයතනවලට යොමු කළ තොරතුරු සම්බන්ධයෙන් තමන් රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ කාලය තුළ කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණු බවද පැවැසූ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂවරයා අවස්ථා ගණනාවකදී රාජ්‍ය බුද්ධි සේවය විසින් නැඟෙනහිර පළාතේ වර්ධනය වෙමින් තිබූ අන්තවාදී ක්‍රියාකාරකම් පිළිබඳව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය, ජාතික ආරක්ෂක කවුන්සිලය සහ පොලිසිය වැනි විවිධ ආයතනවලට තොරතුරු වාර්තා කර තිබුණද ඔවුන් කිසිවෙක් ඒ සම්බන්ධයෙන් ගත් ක්‍රියාමාර්ගයක් ගැන තමාට වාර්තා නොවූ බවත් එය කනගාටුවට කරුණක් බවත් කොමිසම හමුවේ සඳහන් කළේය.

එමෙන්ම පාස්කු ඉරිදා දින බෝම්බ ප්‍රහාරවලින් පසු දිනක හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තමා අමතා අන්තවාදී කටයුතු සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවය දැනුවත්ව සිටියේද? නැද්ද? යන්න තමන්ගෙන් ප්‍රශ්න කළ බවත් ඒ වනවිටත් සියල්ල සිදුවී අවසන්ව තිබූ බවත් ඔහු කොමිසම හමුවේ සංවේදී වෙමින් පැවැසීය.

පාස්කු දින ප්‍රහාර මාලාවෙන් පසුව සියලු පාර්ශ්වයන් බුද්ධි තොරතුරු නිසි ලෙස හුවමාරු කර නොගත් බව පවසමින් රාජ්‍ය බුද්ධි සේවය විවේචනය කළද, රාජ්‍ය බුද්ධි සේවය සිය කාර්ය භාරය නිසි ලෙස ඉටු කළ බවත් වැඩිදුරටත් කොමිසම හමුවේ සාක්ෂි දෙමින් හිටපු රාජ්‍ය  බුද්ධි අධ්‍යක්ෂවරයා කීය.


උපුටා ගැනීම මව්බිම පුවත්පතිනි.

Share this