සාරධර්ම පිරිහීම් වැඩියෙන් සිදුවන්නේ දහම් පාසල් අධ්‍යාපනය නොලත් අයගෙන්ය - අගමැති මහින්ද රාජපක්ෂ

රටේ සාරධර්ම පිරිහීම් පවතින්නේ දහම් පාසල් අධ්‍යාපනය නොලත් පිරිස් වෙතින් බවත්, එනිසා දහම් පාසල් අධ්‍යාපනය අනිවාර්ය කළ යුතු බවත් අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

ඓතිහාසික කසාගල රජමහා විහාරස්ථානයේ පැවැති 125 වැනි දහම් පාසල් දින සැමරුම් ජාතික මහෝත්සවය අමතමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අග‍්‍රාමාත්‍යවරයා මෙසේද පැවසීය.

පාස්කු දින ප‍්‍රහාරය, ත‍්‍රස්තවාදී ගැටලූ ඇතුළු පසුගිය කාලයේ ඇති වූ රටේ විවිධ ප‍්‍රශ්න නැති කිරීමට දායකවන්නේ ආගමික අධ්‍යාපනයයි. කිසිදු ආගමක ප‍්‍රචණ්ඩත්වය උගන්වන්නේ නැහැ.

බෞද්ධ දහම පාසල් අප රට තුළ ආරම්භවීම සම්බන්ධයෙන් සන්තෝෂ වෙනවා. අධ්‍යාපනය වෙනුවෙන් අප රටට හඳුන්වා දුන් මිෂනාරි අධ්‍යාපන රටාව අප රටේ බෞද්ධ අධ්‍යාපනය විනාශවීමට බලපෑවා. බෞද්ධ දහම් පාසල් වැඩසටහන මෙරට ස්ථාපිත කිරීමේ උදාර වැඩසටහන ලෙස ගාල්ල වැලිවත්ත ශ‍්‍රී විජයානන්ද දහම් පාසල 1895 අගෝස්තු මස 03 දින ආරම්භ වුණා. එසේ ආරම්භ වූ දහම් පාසල් සඳහා රාජ්‍ය අනුග‍්‍රහය යටතේ දහම් පාසල් පෙළ පොත් ලබාදීම සිදු කළා. 1956 වර්ෂයේ බෞද්ධාගම සඳහා විශේෂ තැනක් ලැබුණා.

ලංකාවේ දරුවන් ලක්ෂ 22ක් 23ක් දහම් පාසල් අධ්‍යාපනය ලබනවා. ඒ පිළිබඳව එක්තරා විදිහක ආඩමබර වෙන්න පුළුවන්. සාරධර්මයෙන් පිරිපුන් දරුවන් පිරිසක් රටට දායාද කිරීම සඳහා දහම් පාසල් පද්ධතිය අප රටේ පවත්වාගෙන යාම පිණිස ගරුතර මහා සංඝරත්නයත්, ගිහි දහම් පාසල් ගුරු පිරිසත් කරන කැපවීම අප අගය කොට සැළකිය යුතුයි. කිසිදු වේතනයක් නොලබා ගරුතර මහා සංඝරත්නය ප‍්‍රමුඛ දහම් පාසල් ගුරුවරුන් ඉටු කරනු ලබන කැප කිරීම අපි අගය කළ යුතුයි.

ගෞරවනීය භික්ෂූන් වහන්සේලා විසින් සිදු කරනු ලබන මෙම කර්තව්‍ය අගය කරන්නේ නැත්නම් එය අඩුවක්. වර්තමානයේ අප රටේ උද්ගතව ඇති වැඩි ප‍්‍රමාණයක් සාරධර්ම පිරිහීම් පවතින්නේ දහම් පාසල් අධ්‍යාපනය නොලත් පිරිස් වෙතින්. ඒ නිසා දහම් පාසල් අධ්‍යාපනය අනිවාර්ය කළ යුතුයි. අපේ දරුවන්ගෙන් දහම් පාසල් යන ප‍්‍රමාණය බැලූවාම විශාල දරු පරපුරක් බෞද්ධ අධ්‍යාපනය ලබන්නේ නෑ. සතියකට විනාඩි 30 ක් හෝ 45 ක් බුද්ධාගම ඉගැන්නුවා කියා අපි සතුටු වෙනවානම් එය වරදක්.

දරුවන් දහම් පාසල් තුළට යොමු කිරීම මඟින් ගුණගරුක දරුවන් පිරිසක් අප රටට දායාද කළ හැකියි. මේ පිළිබඳ සිතිය යුතු අවශ්‍ය යුගය අද එළඹිලා තියෙනවා. දහම් පාසල් පද්ධතිය තවදුරටත් ශක්තිමත්ව හා විදිමත් ක‍්‍රමවේද සහිත පරිපාලනයක් ඔස්සේ ඉදිරියට පවත්වාගෙන යාමට මේ වනවිට දහම් පාසල් විෂය, අධ්‍යාපන අමාත්‍යාංශය යටතට පත්කර ඇති අතර, ඒ සඳහා අමාත්‍යවරයෙකු ද පත් කරලා තියෙනවා. එය දහම් පාසල අප රජය යටතේ ඉදිරියට ගෙන යාමේ පියවරක්.

රටේ ඉදිරි සෑම අවස්ථාවකදීම ගරුතර මහා සංඝරත්නයේ අවවාද හා අනුශාසනා මධ්‍යයේ සිදු කිරීමට අපි කටයුතු කරනවා. ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේදී එය පැහැදිලව ප‍්‍රකාශ කළා. අපි දහම් අධ්‍යාපනය දරුවන්ට ලබාදීමට කටයුතු කරනවා. ඒ තුළින් දහම් අධ්‍යාපනය පමණක් නෙමෙයි විනය ගරුක දරුවන් පිරිසක් බිහි කිරීම අපේ යුතුකමක්.බෞද්ධ අධ්‍යාපනය පමණක් නෙමෙයි අන් ආගම්වල දරුවන් ද ඔවුන්ගේ ධර්මය ඉගෙනීම සඳහා සහයෝගය ලබා දෙමින් කටයුතු කරනවා. ඇතැම් ආගම්වල ධර්මය පමණක් ඉගැන්වීම් කරනවා.

ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශවයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නායක ස්වාමීන් වහන්සේ, ශ‍්‍රී ලංකා අමරපුර සංඝ සභාවේ සභාපති අති පූජ්‍ය ගන්තුනේ අස්සජී මහනායක මාහිමිපාණන් වහන්සේ, ශ‍්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ දක්ෂිණ ලංකාවේ ප‍්‍රධාන සංඝ නායක ආචාර්ය ඕමල්පේ සෝභිත නායක ස්වාමීන් වහන්සේ, සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ නියෝජ්‍ය සභාපති මහාචාර්ය පූජ්‍ය තුඹුල්ලේ සීලක්ඛන්ධ නායක ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය මේ අවස්ථාව සඳහා වැඩම කළ වදාළහ.
 වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ, පරිසර අමාත්‍ය මහින්ද අමරවීර, දහම් පාසල්, පිරිවෙන් භික්ෂු අධ්‍යාපන හා බෞද්ධ විශ්වවිද්‍යාල රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩ, ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඞී. වී. චානක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී අජිත් රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත‍්‍රී වෛද්‍ය උපුල් ගලප්පත්ති, දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ හා බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම් දේශබන්ධු මහාචාර්ය කපිල ගුණවර්ධන යන මහත්වරුද දකුණු පළාත් ලේකම් හා දිස්ත‍්‍රික් ලේකම් ප‍්‍රමුඛ රාජ්‍ය නිලධාරීන්, දහම් පාසල් ගුරුභවතුන් හා දුවා දරුවන් මේ අවස්ථාව සඳහා සහභාගි වූහ.

Source : Divaina.com

Share this