Two government drivers arrest in Pada Yathra

පාද යාත්‍රාවට ගෙන ආ රජයේ වාහන දෙකක රියැදුරන් අත්අඩංගුවට

පාද යාත්‍රා පාගමනේදී පිළිරුවකට උපහාර දැක්වීම සඳහා රජයේ වාහන දෙකක් භාවිත කිරීම සම්බන්ධයෙන් එහි රියදුරන් දෙදෙනා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඒකාබද්ධ විපක්ෂයේ පාද යාත්‍රාව ඊයේ වරකාපොලට ළඟාවීමෙන් අනතුරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහ ලේකම්වරයෙකු වන අභාවප්‍රාප්ත ධර්මසිරි සේනානායකගේ පිළිරුවට උපහාර දැක්වූ අතර, ඒ සඳහායි මෙලෙස ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගමේ වාහන දෙකක් නීත්‍යානුකූල නොවන අන්දමින් යොදාගෙන ඇත්තේ. 

අදාළ සිද්ධිය සඳහා යොදාගත් බව පැවසෙන දොඹකරයක් සහ වෑන් රථයක් වරකාපොල - පිලාඬුව බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ තිබියදී පොලිසිය විසින් රැගෙන ගොස් තිබෙනවා. 

මේ අතර, පිළිරුවකට උපහාර දැක්වීම සඳහා යැයි පවසමින් රජයේ වාහන දෙකක් ඒකාබද්ධ විපක්ෂයේ පාද යාත්‍රාව සංවිධාන කළ පුද්ගලයින් විසින් භාවිත කර ඇති බව පොලිස්පති පූජිත් ජයසුන්දරද ප්‍රකාශ කළා. 

ඒ සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීම සඳහා තමා අදාළ ප්‍රදේශය භාර පොලිස් ප්‍රධානියාට නියෝග කළ බවයි ඊයේ ගාල්ලේ පැවති උත්සවයකට එක්වෙමින් ඔහු සඳහන් කළේ. 

Share this