2015 අවසන් වීමට පෙර රාජ්‍ය සේවයට අලුතින් 9958ක්‌

මේ වසර අවසන් වීමට පෙර රාජ්‍ය සේවයට 9958 ක්‌ බඳවා ගැනීමට රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශය සැලසුම් කර ඇත. මෙම පිරිසෙන් 2635 ක්‌ සඳහා නව පත්වීම් ලබාදීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (08 වැනිදා) සවස 2.00 ට සුගතදාස ගෘහස්‌ථ ක්‍රීඩාංගණයේදී සිදුකෙරෙන බව රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ ඇමැති රංජිත් මද්දුමබණ්‌ඩාර මහතා පෙරේදා (06 වැනිදා) පැවසීය.

රාජ්‍ය කළමනාකරණ සහකාර III වන ශ්‍රේණිය සඳහා 2013 වසරේ පැවැත්වූ තරග විභාගයට අනුව ඒ ඒ දිස්‌ත්‍රික්‌කවලින් අපේක්‍ෂකයන් බඳවාගන්නා බවත් එහි කඩඉම් ලකුණු පහත සඳහන් පරිදි වන බව හෙතෙම අනාවරණය කළේය.

කොළඹ 122, ගම්පහ 122, කළුතර 126, මාතලේ 124, මහනුවර 123, නුවරඑළිය 122, ගාල්ල 129, මාතර 128, හම්බන්තොට 124, යාපනය 140, මන්නාරම 134, වවුනියාව 134, ත්‍රිකුණාමලය 133, මඩකලපුව 132, අම්පාර 130, පුත්තලම 120, කුරුණෑගල 125, අනුරාධපුරය 120, පොලොන්නරුව 120, බදුල්ල 122, මොනරාගල 121, කෑගල්ල 125, රත්නපුර 123, කිලිනොච්චිය 132, යාපනය, වවුනියාව වැනි දිස්‌ත්‍රික්‌කවල කඩයිම් ලකුණු මට්‌ටම ඉහළ ගොස්‌ ඇත්තේ එම දිස්‌ත්‍රික්‌කවල පවතින පුරප්පාඩු අඩුවීම නිසාය.

කළමනාකාර සහකාර III වන ශ්‍රේණිය සඳහා බඳවාගනු ලබන 2635 ට අමතරව සීමිත තරග විභාගයෙන් නිලධාරීන් 1061 ක්‌ බඳවාගැනීමට ද නියමිතය.

මීට අමතරව ශ්‍රී ලංකා පරිපාලන සේවය යටතේ සීමිත තරග විභාගය යටතේ නිලධාරීන් 66 ක්‌ බඳවාගෙන ඇත. විවෘත තරග විභාගය යටතේ බඳවා ගනු ලැබූ නිලධාරීහු 172 ක්‌ දැනට සේවාරම්භක පුහුණුව ලබමින් සිටිති.

ශ්‍රී ලංකා ගණකාධිකාරි සේවයේ විවෘත තරග විභාගය යටතේ නිලධාරීන් 99 ක්‌, සීමිත තරග විභාගය යටතේ 69 දෙනෙක්‌ සහ කුසලතා පදනම මත 29 ක්‌ බඳවා ගැනීමට නියමිතය.

ශ්‍රී ලංකා ඉංජිනේරු සේවය යටතේ පවතින පුරප්පාඩු 378 ක්‌ සඳහා බඳවා ගැනීමට පවත්වන ලද විභාග ප්‍රතිඵල රාජ්‍ය සේවා කොමිසම වෙත යොමුකර තිබෙන අතර එහි අනුමැතිය ලැබූ විගස බඳවාගැනීම් සිදුකෙරේ.

ශ්‍රී ලංකා ක්‍රමසම්පාදන සේවය සඳහා නිලධාරීන් 15 දෙනකු බඳවාගෙන මේ වන විට පුහුණුව සඳහා යොමුකර ඇත.

Share this