පෙම්වතිය ගණිකා වෘත්තීයේ යෙදවූ පෙම්වතා අත්අඩංගුවට

ඇඟලුම් සේවිකාවක් සමග ප්‍රේම සම්බන්ධයක් ඇති කරගෙන එම කාන්තාව ගණිකා වෘත්තීයේ යොදවා මුදල් උපයා ගත්තේ යැයි කියන අයෙකු සහ ඊට අනුබල දුන් පුද්ගලයකු මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් පූර්ණිමා පරණගමගේ මහත්මිය විසින් 10 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙනවා. 

රක්ෂිත බන්ධනාගාර ගත වූයේ පන්සල පාර දළුපොත පදිංචි වීරක්කොඩි චතුරංග සිල්වා සහ හිඟුරන්කෙත පදිංචි රන්කොත්පේඩිගේ ළහිරු නමැති පුද්ගලයන් දෙදෙනෙකි. 

පළමු සැකකරු කාන්තාව රැකියාව කර උපයන වැටුපෙන් මාස කීපයක් ජීවත් වී ඇත. පසුව ඔහු ඇයව මීගමුවේ සංචාරක හෝටල්වලට ගෙනගොස් විවිධ පුද්ගලයන්ට විකුණා එක් අයෙකුගෙන් රුපියල් 5000 බැගින් ලබා ගෙන ඇතැයි කාන්තාව පොලීසියට කළ පැමිණිල්ලේ සඳහන්ය. එක් දිනකට එලෙස 8 දෙනෙකු හෝ 10 දෙනෙකු සමග හැසිරීමට සිදුවන බවද ඇය පවසනවා. එසේ කිරීමට බැරි බව ප්‍රකාශ කළ විට මේ තැනැත්තා පහර දෙන බවද වැඩිදුරටත් ඇය පවසනවා. එක් දිනක් එසේ පහරදී ඇය පැළැඳ සිටි රන් මාලයක්ද පැහැර ගැනීම නිසා මීගමුව පොලීසියට පැමිණිලි කර තිබේ. 

කොට්ඨාස පොලිස් අධිකාරී අනුර අබේවික්‍රම මහතාගේ සහ සහකාර පොලිස් අධිකාරී අශෝක විජයරත්න මහතාගේ උපදෙස් මත මීගමුව පොලීසියේ ස්ථානාධිපතිවරයාගේ අධීක්ෂණය යටතේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනිය ඇතුළු පිරිසක් විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

Share this