කිසිඳු පුද්ගලයකුට මාව හැසිරවිය නොහැකියි - ජනපති

කිසිඳු පුද්ගලයකුට තමා හැසිරවිය නොහැකි යැයිද තමා හැසිරවිය හැක්කේ ජනතාවට පමණක් යැයිද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අවධාරණය කළේය. ජාත්‍යන්තරය හෝ වෙනත් රටකට රටේ මානව හිමකම්, මූලික අයිතිවාසිකම්, නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ඇඟිලි ගැසීමට ඉඩ නොදෙන බවත් ඒකීය රටක් ලෙස මාතෘභූමිය ඉදිරියට ගෙන යෑමට ඇප කැපවෙන බවත් ජනාධිපතිවරයා අනාවරණය ‍කළේය.

ජනාධිපතිවරයා එසේ සඳහන් ‍කළේ කොළඹ හයිඩ් පිටියේ දී ඊයේ(1) පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැයි දින රැලියට එක්වෙමිනි. පංච මහා බලවේගයන් මතින් ගොඩනැඟුණු ශ්‍රීලනිප ගැඹුරු පා සටහන් කොළඹ හයිඩ් පිටිය පුරා විසිරී ගොස් තිබුණි.

සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු යන පංච මහා බලවේගය සමාජයේ සෑම තරා තිරමකම පුරවැසියන්ගේ නියෝජනය කිරීමක් දක්නට ලැබුණූ අතර 'ඔබේ ශ්‍රමයට අපමණ අගයක්' යන්න මෙවර සැමරුවේ තේමා පාඨයයි .

කොළඹ ස්ථාන තුනකින් ඇරඹි ශ්‍රිලනිප දැවැන්ත පෙළපාළි කොළඹ නගරය පුරා ඇවිස්සුන කුහුඹු ගුලක් මෙන් ගමන් කරනු දක්නට ලැබුණි. නෙළුම් පොකුණ, ඩී.ආර්.විජයවර්ධන මාවත හා ලිප්ටන් වටරවු‍මෙන් ඇරඹි දැවැන්ත පෙළපාළි හයිඩ් පිටිය කරා පැමිණියේ ඔල්වරසන් දෙමිනි. ප්‍රභුවරුන්ගේ පැමිණීමත් සමඟ නාද වූ රතිඤ්ඤා හඬට වඩා ජනතාවගේ ප්‍රීති ඝෝෂා හඬ බලවත් වී තිබුණි . උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වූ ජනාධිපතිවරයාගේ සම්ප්‍රාප්තියට ජනතාවගෙන් ලැබුනේ උණුසුම් පිළිගැනීමකි.

එහෙත් හිටපු ජනපතිනිය චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ පැමිණීම සැලවීමත් සමඟ ජනතාවගෙන් හිමි වූවේ එකම හූ හඬකි. වරක් දෙවරක් නොව කිහිප වරක් මෙම හූ සංග්‍රහයත් සමඟ ඇය වේදිකාවෙන් ඉවත්ව යනු දක්නට ලැබුණි.

මෙහිදී විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය ඇතුළු යෝජනා පහක් ද සම්මත කෙරුණි. ජනාධිපතිවරයා ලෙස මා පත් කැර ගත්තේ විශ්වාසයෙන් බව කී ජනාධිපතිවරයා සියලු දෙනා එක්ව සහෝදරත්වයෙන් වැඩ කිරීමට අවශ්‍යයි ද කීවේය. තමාට කිසිඳු භේදයක් වර්ග වාදයක් නැතැයි කී ජනාධිපතිවරයා සියලුම දෙනාට තමා සහෝදරත්වයේ දෑත දිගු කරන බව ද පැවැසීය.


















Share this