අතවරයට ලක්වූ දැරියගේ කණට ගහලා - කොස්තාපල්වරියන් දෙන්නා රිමාන්ඩ්

අතවරයට ලක්ව රෝහල් ගත කර සිටි දැරියක පරීක්ෂණ සඳහා කැඳවාගෙන ගොස් ඇයට පහර දුන් බව කියන කාන්තා පොලිස් කොස්තාපල්වරියන් දෙදෙනෙකු මෙම මස 28 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ආණමඩුව මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ කල්පිටිය පොලීසියට අනියුක්තව සේවය කරමින් සිටි කාන්තා පොලිස් කොස්තාපල්වරියන් දෙදෙනෙකි.

ආණමඩුව - මහඋස්වැව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 15 ක් වන බාල වයස්කාර දැරියක තම පෙම්වතා විසින් දුෂණය කළ බව කියන පැමිණිල්ලක් පසුගිය 05 වැනිදා  ආණමඩුව පොලීසියට ලැබී ඇත. 

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කර ඇති ආණමඩුව පොලීසියේ නිලධාරීන් දැරිය වෛද්‍ය ප්‍රතිකාර සඳහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර  සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

ආණමඩුව පුත්තලම පාර පදිංචි එම සැකකරු වයස අවුරුදු 15 ක් වන බාල වයස්කරුවෙකි.අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුව මේ වන විට පරිවාස බාරයට පත් කර ඇත.

එවකට ආණමඩුව පොලීසියේ සේවය කරමින් සිටි කාන්තා පොලිස් කොස්තාපල්වරියන් දෙදෙනෙකු වන 3090 අනුෂා සහ 9258 සුදේශිකා යන නිලධාරිණියන් දෙදෙනා විසින් අතවරයට ලක්ව රෝහල් ගත කර සිටි දැරිය අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාගේ අවසරය මත ඇය දුෂණයට ලක්වූ බව කියන ආණමඩුව නගරයේ පිහිටි ලැගුම් හලක් වෙත කැඳවාගෙන ගොස් ඇත.

ඒ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කිරීම සඳහාය. 

ඉන් පසුව පොලිස් නිලධාරීනියන් දෙදෙනා විසින් නැවතත් දැරිය ප්‍රතිකාර සඳහා පුත්තලම මූලික රෝහලට බාර දී ඇත.

පරීක්ෂණ සඳහා කැදවාගෙන ගිය ‍කාන්තා පොලිස් නිලධාරිණියන් දෙදෙනා තමන්ගේ කණට ගැසූ බව රෝහල් ගත කර සිටින දැරිය පුත්තලම මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත පවසා ඇත.

මෙම සිද්ධිය අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා විසින් පුත්තලම කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා වෙත දන්වා තිබේ.

ඒ අනුව ක්‍රියාත්මක වී ඇති ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයා සිද්ධියට සම්බන්ධ කාන්තා පොලිස් නිලධාරීණියන් දෙදෙනා වහාම කල්පිටිය පොලීසියට ස්ථාන මාරු කර මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

විමර්ශනය සිදු කර ඇති නවගත්තේගම පොලීසියේ ස්ථානාධිපතිවරයා විසින් පසුගිය 19 වැනිදා සවස සැකකාර පොලිස් කොස්තාපල්වරියන් දෙදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත.

පුත්තලම කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සෙනරත් පද්මලාල් සඳුන්ගහවත්ත මහතාගේ උපදෙස් මත වැඩිදුර විමර්ශන කටයුතු සිදු කෙරේ. 

Share this