වැඩිම ප්‍රදේශයක ජනතාවකට නොමිලේ WI-FI දෙන පළමු ආසියාතික රට ලංකාව

සෑම ප්‍රාදේශීය ලේකම් කලාපයකටම ‘වයි ෆයි’ කලාප බිහිවෙයි‍

දිවයිනේ සෑම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයකම වයිෆයි කලාපය බැගින් ස්ථාපිත කරන බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය පවසයි. ඒ අනුව ආසියාතික රටවල් අතරින් වැඩිම ප්‍රදේශයක ජනතාවකට නොමිලේ වයිෆයි පහසුකම් ලබාදුන් ප්‍රථම රට බවට ශ්‍රී ලංකාව පත්ව තිබේ.


ඉදිරි මාස කීපය ඇතුළත රටපුරා වයිෆයි කලාප 1000 ක් ඇතිකිරීම රජයේ ප්‍රමුඛ අරමුණක් වී ඇතැයි ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය පවසයි. පින්නවලදී පසුගියදා අභිනවයෙන් විවෘත කෙරුණු ශ්‍රී ලංකාවේ පළමු එළිමහන් සත්ත්වෝද්‍යානයේ මෙරට අසූවැනි නොමිලේ වයිෆයි කලාපය ස්ථාපිත කෙරුණු බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) පවසයි.


දිවයින පුරා පොදු ස්ථාන කේන්ද්‍ර කර ගනිමින් ජනතාවට නොමිලේ අන්තර්ජාල පහසුකම් ලබාදීමේ වයිෆයි කලාප දහසක් ස්ථාපිත කිරීමේ වත්මන් රජයේ වැඩසටහන යටතේ මෙය ස්ථාපිත කෙරුණු බව නියෝජිතායතනය පවසයි.


පොදු ස්ථානයන්හිදී නොමිලේ ලබා දෙන වයිෆයි පහසුකම් තම ජංගම දුරකථන, ජංගම පරිගණක ඇතුළු උපකරණවල ස්ථාපනය කර ගැනීම සඳහා වන මඟ පෙන්වීම 1919 රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයට ඇමැතීමෙන් දැනගත හැකි බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) පවසයි.

Share this