නේපාල භූ කම්පනයෙන් මියගිය ගණන 1400 ඉක්මවයි

නේපාලයට බලපෑ ප්‍රබල භූ කම්පනයකින් පුද්ගල ජීවිත 1400ක් අහිමි වී ඇති බව විදෙස් වාර්තා පවසනවා. තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවටද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 

රික්ටර් මාපකයේ 7.9ක අගයක් වාර්තා කළ මෙම භූ කම්පනය එරට අගනුවර ලෙස සැලකෙන කත්මණ්ඩු නගරයේ සිට පොඛාරා නගරය තෙක් ප්‍රබලව දැනී ඇති බව ඇමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි.

එමෙන්ම, භූ කම්පනය අසල්වැසි ඉන්දියාව, පාකිස්තානයමෙන්ම බංග්ලාදේශයටද  යම් ප්‍රමාණයකින් දැනී ඇති බව විදෙස් වාර්තා පවසයි.

නේපාලයේ තොරතුරු අමාත්‍ය මිනේන්ද්‍ර රිජාල් පවසා සිටියේ  භූ කම්පනයේ අපිකේන්ද්‍රය අවට දැඩි අලාභානි සිදුව ඇති බවයි.

එමෙන්ම, කඩිනම් විදෙස් ආධාර අවශ්‍ය බවත්, මෙවැනි ආපදා තත්ත්වයක් වෙනුවෙන් කටයුතු කිරීමට අවශ්‍ය පහසුකම් නොමැති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත.

කත්මණ්ඩු නුවර කඩා වැටුණු ගොඩනැගිලි ආශ්‍රිතව මියගිය අයගේ සිරුරු ගොඩගනිමින් සිටින බව එරට මාධ්‍ය උපුටා දක්වමින් බී.බී.සී.ය පවසයි.

එසේම නේපාලයේ සිදු වූ ප්‍රභල භූ චලනය හේතුවෙන් එරට වැසියන්ට සහන සැපයීම සඳහා මෙරටින් සහන කණ්ඩායමක් පිටත්ව ගොස් තිබෙනවා.

අදාළ සිද්ධිය සැලවූ වහාම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සාකච්ජා කොට  ඒ සඳහා විශේෂ කමිටුවක් පත් කර ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.

ඒ අනුව වෛද්‍යරුන් සිව් දෙනෙකු සහ වෛද්‍ය  සහායකයින් මෙන්ම ඖෂධ වර්ගද රැගෙන හෙට පෙ.ව.2.00ට නේපාලයේ කත්මණ්ඩු නුවර බලා ගුවන් හමුදාවට අයත් ගුවන් යානයක් මෙරටින් පිටත්ව ගොස් තිබෙනවා.

තවද අදාළ යානා මගින් නේපාලයේ සිටින ශ්‍රී ලාංකිකයින් සහ ශිෂ්‍යයින් මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු යොදා ඇති බවද අගමැති කාර්යාලය නිවේදනයක් මගින් වැඩිදුරටත් සඳහන් කරයි.


එසේම එරට සිටින ශ්‍රී ලාංකිකයින් පිළිබඳව තොරතුරු දැන ගැනීමට අවශ්‍ය නම්  නේපාලයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයට අයත් 0097 798 510 20057 යන දුරකථන අංකයෙන් විමසීම් කළ හැකි බවද වාර්තා වෙයි.





















Share this